ඩොලර් ගේන වැල්ලවායේ හා අම්පාරේ කටු අනෝදා වගාව සාර්ථකයි


ශ්‍රී ලංකාවේ වගා කරන කටු අනෝදා සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව , මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතී.

මෙම වෙළෙඳ පොළ ඉළක්ක කර ගනිමින්  වැල්ලවාය, අලුත්වෙල හා රිදීමාලියද්ද ප්‍රදේශවල අක්කර 100ක හා අම්පාර අක්කර 100ක වශයෙන් අක්කර 200ක කටු අනෝදා වගා කිරීම මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. කටු අනෝදා අපනයනය මගින් රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමට එමගින් අගය එකතු කළ නිෂ්පාදන ඇරඹීමට පුද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය හා කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ මෙම කටු අනෝදා වගාවන් සඳහා අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ගොවි ජනතාව වෙත ලබා දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10) දින වැල්ලවාය අළුත්වෙල අක්කර 100ක වගා කර ඇති කටු අනෝදා වගාව නිරීක්ෂණය කළේය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා හා ව්‍යාපෘති දෙකෙහි අධ්‍යක්ෂවරු ඇතුලු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම කටු අනෝදා වගාවේ එක් ගසකින් කිලෝග්‍රෑම් 50ක අස්වැන්නක් නෙලා ගැනීමට නියමිත අතර අක්කරයක වගාවකින් කිලෝග්‍රෑම් 2000ක් අස්වැන්නක් ලබා ගැනීම ඉළක්කයයි. අක්කරයක කටු අනෝදා වගාව මගින් ගොවීන්ට රුපියල් ලක්ෂ 25ක ආදායමක් ලබා ගත හැකිවේ.

මීට අමතරව කටු අනෝදා වගාව තුළ අතිරේක බෝග වගාවන් වශයෙන් රටකජු හා වෙනත් එළවළු වර්ග වගා කෙරෙන අතර එමගින් ද අමතර ආදායමක් ගොවීන්ට ලබා ගැනීමට හැකියාව ලැබේ.

එක් ගොවියෙක් අක්කරයක් බැගින් කටු අනෝදා වගාවේ නිරතව සිටින අතර ඔවුන්ට රුපියල් ලක්ෂ 05ක මුදලක් ණය වශයෙන්  සහ තවත් රුපියල් 50,000ක් ජලසම්පාදන කටයුතු සදහා ආධාරයක් ලෙස ලබා දී තිබේ. අලුතින් වගාවට එකතු වන ගොවීන් සඳහා ලබා දෙන වගා ණය මුදල රුපියල් ලක්ෂ 09ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ගොවි ජනතාව හමුවෙමින් ප්‍රකාශ කළේය.

කටු අනෝදාවලින් සකස් කරන බීම විදේශ වෙළෙදපොලට අපනයනය කිරීම සදහා කටයුතු කරන තණමල්විල පිහිටි CAP- CEYLON සමාගම ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.

ගොවීන්ගෙන් මිල දී ගන්නා කටු අනෝදාවලින් සකසන ලද තත්ත්වයෙන් උසස් බීම නිෂ්පාදනයක් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙක් එම සමාගම දැනට රටවල් කිහිපයකට අපනයනය කරනු ලබයි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කටු අනෝදා මෙන්ම තණමල්විල හා වැල්ලවාය ප්‍රදේශයේ වැවෙන දිවුල් යොදා ගනිමින් පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පල්ප් සැකසීමට කර්මාන්ත ශාලාවක් කඩිනමින් ඉදි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතාට උපදෙස් දුන්නේය. 

   



Recommended Articles