ජීවිතය යදින රෝගින් වෙනුවෙන් ලේ දන්දෙන්ට පෙළගැසෙමු


පවතින වසංගත තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍යම කටයුතු වලට පමණක් නිවසෙන් බැහැර වන ලෙසත් ජනතාව එක් රැස්වන කටයුතු සංවිධානය නොකරන ලෙසත් රජය විසින් එළිදැක්වූ මාර්ගෝපදේශ සංග්‍රහයේ සදහන් කර ඇත. මේ නිසාම වෙනදා මෙන් දිවයිනේ විවිධ ස්ථාන වල සංවිධානය වන ලේ දන්දීමේ කඳවුරු සංවිධානය වන්නේ නැති තරම්ය. මේ හේතුව නිසා රටේ රුධිර සංචිත වේගයෙන් පහළ බසිමින් තිබේ. මේ අවස්ථාවේ ජීවිතය වෙනුවෙන් ලේ බිඳක් අයදින රෝගී ජීවිත වෙනුවෙන් කරන සටහනකි මේ.

ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ

සාමාන්‍යයෙන් ලංකාවේ ජාතික රුධිර පාරවිලන සේවයට වර්ෂයකට රුධිර ඒකක(රුධිර ඒකක 1 = මිලිලීටර 450 ) ලක්ෂ 4 ½ක් පමණ අවශ්‍ය වෙනවා. අපි දවසකට අවශ්‍යය රුධිර ඒකක ප්‍රමාණය ගණන් හැදුවොත් රුධිර ඒකක 1200ත්- 1500 ත් අතර ප්‍රමාණයක්. බොහෝ අය හිතාගෙන ඉන්නේ පුද්ගලයෙකුගේ රුධිරය අපි ලබා ගත්තම ඒ විදිහටම රෝගියෙකුට ලබා දෙනවා කියලා. නමුත් එය එසේ නොවෙයි. අපිට යමෙක් ලබාදෙන රුධිරය ප්‍රථමයෙන් රෝග 05කට පරික්ෂා කර බලනවා. ඒ කියන්නේ රුධිර ගතව බොවෙන්න පුලුවන් හෙපටයිටිස් බී, හෙපටයිටීස් සී, මැලේරියාව, ඒඩ්ස්,සිපිලීස් කියන රෝග තිබෙනවාද කියන එක පරීක්ෂා කර බලනවා. ඉන් පසු අපි මේ රුධිර ඒකකයක් අරගෙන සංඝටක වලට වෙන්කරනවා. ඒ කියන්නේ රතු රුධිරාණු, සුදු රුධිරානු, රුධිර පට්ටිකා, ප්ලාස්මා කියන කොටස් වලට වෙන් කරනු ලබනවා. ඉන්පසුව තමයි අවශ්‍ය රෝගීන්ට නිකුත් කරනු ලබන්නේ. රක්තහීනතාවය,රුධිරවහනයක් සිදුවන අවස්ථාවක, ශල්‍ය කර්මයකින් පසු සිදුවන සංකූලතාවයකදී අපි රතු රුධිරාණු තමයි රෝගියාට ලබා දෙන්නේ. රුධිර වහනය වන රෝග,පිළිකා තත්ත්ව, ලියුකේමියා, ලියුෆෝමා වැනි රෝග වලදී අපි රුධිර පට්ටිකා ලබා දෙනවා. මීලගට හිමෝෆීලියා වගේ ලෙඩකට ප්ලස්මාව හා ඉතිරි රුධිර සංඝටක ලබා දෙනවා. මේ ආකාරයෙන් තමයි අපි ස්විශේෂී තත්ත්ව අනුව රුධිරය ලබා දීම සිදුකරන්නේ.

මෙහිදී තිබෙන විශේෂිතම කරුණ තමයි අපිට අවශ්‍ය රුධිර ඒකක හාරලක්ෂ පනස් දහසම ලැබෙන්නේ  රුධිර දායකයින් විසින් නොමිලයේ ස්වෙච්ජාවෙන් සිදුකරන රුධිරය දන්දීමෙන්.අපි කිසිදු මුදලක් හෝ වෙනත් වාසියක් ලබා දෙන්න පෙළඹලා නොවෙයි ඔවුන්මේ රුධිරය ලබා දෙන්නේ.පුන්‍යකර්මයක් ලෙසයි මේ කටයුතු වලට ලංකාවේ මිනිසුන් දායක වෙන්නේ.  ඉන්  85෴කට අධික ප්‍රමාණයක්ම ජනතාව අතර රුධිර කඳවුරු සංවිධානය කිරීම් වලින් තමයි එකතු වෙන්නේ.

දැන් කොවිඩ් 19 රෝගය පැතිරයන අවස්ථාවේ  රුධිර කඳවුරු සංවිධානය කරන්න නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. පසුගිය වර්ෂයේ පෙබරවාරි , මාර්තු වලින් පසුව සංචරණයන්ට විවිධ බාධා ඇති වෙලා තිබෙනවා වගේම දුරස්ථ භාවය රකින්න සිදුවී තිබෙනවා. ඒ වගේම  පිරිස් රැස්කරන්න නොහැකි වී තිබෙනවා.මේ නිසා රුධිර කඳවුරු හරහා අපිට එක්රැස්වුණ 85%ක රුධිර රැස්කිරීම් අපිට අහිමි වී තිබෙනවා.

රට ලොක් ඩවුන් කලාම රෝහල් වලට රෝගීන් පැමිණීම අඩු වන බව යමෙකුට තර්ක කරන්න පුලුවන්. මේ දවස්වල සැලසුම් කර සිදුකරන ශල්‍යකර්ම නවත්වලා තිබෙනවා. සංචරණ සීමා පැනෙව්වම මාර්ග අනතුරු අඩුවෙනවා .ඒ නිසා රුධිර අවශ්‍යතාව අඩුයි කියලා හිතෙන්න පුලුවන්.

නමුත් එහෙම වෙන්නේ නැති එකයි මෙතන තියෙන ගැටලුව. අපි පසුගිය වර්ෂයේ රටම ලොක්ඩවුන් කලා.ඒ වෙලාවේ අපි බැලුවා රුධිර අවශ්‍යතාව කොච්චරකට අඩු වෙයිද කියන දේ. එහිදී අපිට පෙනුනා කවර ආකාරයක තත්ත්වයකදී හෝ රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කළත් , රෝහල් වලට ඇතුල්වන රෝගින් ගණන අඩු වුණත් දෛනිකව අපිට රතු රුධිරාණු ඒකක 600ත්  700ත් අතර අවශ්‍ය බව. මීලගට රුධිර පට්ටිකා ඒකක 400ත් 500ත් අතර ප්‍රමාණයක් අපිට දෛනිකව අවම ලෙස අවශ්‍යය වෙනවා. මේ අවශ්‍යතාව එන්නේ මහරගම අපේක්ෂා රෝහලෙන්, රටේ අනෙකුත් පිළිකා ඒකක වලින්. මොකද පිළිකා රෝගීන්ට ප්‍රථිකාර හරහා ආයු කාලය දීර්ඝ කරගන්න හැකිවී තිබෙනවා වෛද්‍ය විද්‍යාවේ දියුණුවෙන්. පිළිකාවට ගොදුරු වුණාම,ඒ වගේම ප්‍රථිකාර නිසා බොහෝ විට ඇට මිඳුලු අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා ජීවිතය ජීවත් කරන්න පට්ටිකා, රතු රුධිරාණු, සුදු රුධිරාණු පිටස්තරයෙන් ලබා දීම සිදු කළ යුතුයි.  මීලඟට ලියුකේමියා වගේ රෝග වලින් පීඩා විඳින දරුවන් හා වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ලංකාවේ සිටිනවා.මොන සංචරණ සීමා පැනෙව්වත් ඒ රෝගින්ගේ ජීවිත රැඳිලා තිබෙන්නේ ඔවුන් බාහිරෙන් ලබා ගන්න රුධිරය මතයි. මීලඟට කුරුනෑගල,අනුරාධපුර, බදුල්ල, මොනරාගල වගේ ප්‍රදේශවල විශාල වශයෙන් තැලසීමියා රෝගින් සිටිනවා.රාගම රෝහලේ විශාල ප්‍රමාණයක් තැලසීමියා රෝගින් ලෙස ලියාපදිංචි වී සිටිනවා. මේ රෝහල් වලට රුධිරය බහුලව අවශ්‍ය වෙනවා. මොකද තැලසීමියා රෝගින්ට චක්‍රීයව රතුරුධිරානු ලබා දෙන්න සිදුවෙනවා. ඒ වගේම අමතක කරන්න එපා මොනදේ සිදු වුණත් අපේ රටේ දවසකට දරු ප්‍රසූතින් 950ක් 1000ක් අතර සිදුවෙනවා. ඒ අතරින් සැලකිය යුතු පිරිසකට අධික රුධිර වහනයන් සිදුවෙනවා. ඒ අනුව මාතෘ මරණ අඩු කරගන්න අපිට රතු රුධිරාණු අවශ්‍ය වෙනවා. මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අපිට රුධිර ඒකක 600ත් 700ක් වත් දෛනිව එකතු කරගන්න සිදුවෙනවා. දවසකට මේ රුධිර ඒකක ප්‍රමාණය එකතු කරගන්න එක දැන් අභියෝගයක් වෙලා තියෙනවා. රතු රුධිරාණු එකතු කරගත්තම අපිට දින 30ක් විතර තබාගන්න පුලුවන්. නමුත් පට්ටිකා අපිට තියාගන්න පුලුවන් වෙන්නේ දින 06ක් වගේ කාලයක් පමණයි. ඒ නිසා අපිට දෛනිකව රුධිරය එකතු කරගන්න අනිවාර්යෙන් සිදු කරන්නම ඕන.

ඒ නිසා අපිට මේ අවශ්‍යතාවය සපුරාගන්න රුධිර රැස්කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව තබාගන්න සිදුවෙනවා. ඒ අනුව අපිට රුධිර දායක මහත්ම මහත්මීන්වත් රුධිරය එක්රැස් කරන නිළධාරින්වත් කෝවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කරගෙන මේ කටයුතු සංවිධානය කිරීමේ අවශ්‍යතාවයක් මතුවී තිබෙනවා. රටේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුගතව , රටේ අනෙක් රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගන්න අභියෝගය ජය ගැනීමට අපි මේ වන විට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. අපේ ජාතික රුධිර පාරවිලයනය සතුව රුධිර මධ්‍යස්ථාන 106ක් ක්‍රියාත්මක වෙනවා. ලංකාව පුරා පවතින ප්‍රධාන රෝහල්, දිස්ත්‍රික් රෝහල්,පළාත් මහ රෝහල්, ශික්ෂණ රෝහල් වල මේ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. මේ මධ්‍යස්ථාන සියල්ල මේ දිනවල  උදේ 08 සිට හවස 04 දක්වා වැඩකරන දිනයන් වල පමණක් නොවෙයි නිවාඩු දින වලත් විවෘත කර තිබෙනවා. මීලඟට නාරාහෙන්පිට ප්‍රධාන මධ්‍යස්ථානය උදෑසන 08 සිට සවස 06 දක්වා විවෘත කර තිබෙනවා. ජනතාවට අපි පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංක දෙකක් හා වෙබ් පිටුවක් හදුන්වා දී තිබෙනවා. ඒ වා තමයි 011 533 2153/ 011 5332154 කියන අංක හා www.nbts.health යන වෙබ් පිටුව. මේවා හරහා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින රුධිර දායකයෙකුට සම්බන්ධවෙලා පහසුවෙන් ලඟාවෙන්න පුලුවන් රුධිර මධ්‍යස්ථානයට පැමිණීමට පහසු දිනයක් හා වේලාවක් වෙන්කරගන්න හැකියාවක් තිබෙනවා.  ඒ අනුව සෙනග රැස් නොවන ආකාරයට අපිට වේලාවක් වෙන්කර දෙන්න පුලුවන්. මේ වෙලාව වෙන් කරගන්න අපිට සම්බන්ධ වෙන්නේ ජංගම දුරකථනයක් හරහා නම් අපේ සේවාව හරහා ඔහුට හෝ ඇයට පණිවිඩයක් යොමු කරනවා. ඒ පණිවිඩය ආරක්ෂක අංශ වලට පෙන්වලා ඔබට සංචරණ සීමා පවතින අවස්ථාවක වුණත් රුධිරය දානය කරන්න පැමිණෙන්නට අවස්ථාව තිබෙනවා. ආරක්ෂක මහතුන්ටත් අපි මේ පණිවිඩය තහවුරු කරන්න පහසුකම් ලබා දෙනවා. ඒ අනුව අපිට අවශ්‍ය ජනතාවට අපහසුතාවයකින් තොරව, කොවිඩ් අවදානමෙනුත් තොරව රුධිර සංචිතය පවත්වාගන්නයි. ඒවගේම අපි විශාල රුධිර කඳවුරු මේ වෙලාවේ දිරිමත් කරන්නේ නැහැ.නමුත් 30ක් හෝ 50ක් විතර පිරිසක් එකතු කරගෙන පැයකදී 10 දෙනෙකු විතර ගෙන්වාගෙන තදබදයක් නැතිව ප්‍රවේශමෙන් මේ කටයුතු කරන්න හැකියි. එවැනි කුඩා කඳවුරු සංවිධානය කරන්න හැකි අය ඉහත සඳහන් කළ දුරකථන අංක වලට හෝ වෙබ් අඩවියට දන්වන්න පුලුවන්. එවිට අපිට පුලුවන් අදාල පහසුකම් ඒ ස්ථාන වලට ගිහින් සපුරලා දෙන්න.

නදීශානි පතිරණ/චාමර සම්පත්/ කැලුම් දේවින්ද



Recommended Articles