ජවිපෙ පාරට බසියි


වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ පොදු ජනතාවගෙන් කිසිවෙකු සතුටින් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. මෙම කාලය තුළ සතුටින් සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූෂිත අමාත්‍ය මණ්ඩලය සහ ඔවුන් වටා සිටින ජාවාරම්කරුවන් පමණක් බවද එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

පොදු ජනතාව සියලු දෙනා අතිශය අසාධාරණයට, අයුක්තියට, පීඩාවට පත්කළ ජනපීඩක ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇතැයිද හෙතෙම පවසා සිටියේය.

සෑම මසකම ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ධීවර ජනතාව පීඩාවට පත්ව තිබෙන බවත්, කන්න හතරක් ගොවිබිම් පාළු වී ගියද, ඔවුන්ට සහන ලබා නොදීම හේතුවෙන් ගොවි ජනතාව පීඩාවට පත්ව තිබෙන බවත් පැවසූ දිසානායක මහතා, දැනුම හා අධ්‍යාපනය ලබා සිටින තරුණ පරම්පරාවට රැකියාවක් ලබාදීමට හෝ අගමැතිවරයාගේ බංකොළොත් ආර්ථිකයට නොහැකි වී තිබෙන බවද ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය කප්පාදු වීම නිසා සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පීඩාවට පත්ව, දෙමවුපියන් මත බරක් පැටවී තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ජීවිත අඟලක් හෝ ඉදිරියට ගෙන යෑමට පාලකයන්ට නොහැකි බවට මේ වන විට ඔප්පු කර තිබෙන බවත්,  එබැවින් කිසිදු දෙගඩියාවකින් හෝ සැකයකින් තොරව වත්මන් පාලනය පලවා හැරීම සඳහා මෙරට ජනතාව පෙරට ආ යුතුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

වත්මන් දූෂිත පාලනය හා මහජනයාගේ ධනය කොල්ලකන පාලනය පලවා හැරීමට ජනතාව පොදු සම්මුතියකට පැමිණිය යුතු බවද ඔහු සඳහන් කළේය.

'බදු බරට, දඩ බරට, චංචාවට, දූෂණයට එරෙහිව' ඊයේ (23දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතා රැලියකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ පක්‍ෂනායකවරයා, දූෂිත වත්මන් පාලකයන් පලවා හැරිය යුත්තේ නව දූෂිතයන්ට ඉඩකඩ ලබා නොදීමෙන් බවත්, ජනතා විමුක්ති පෙරමුණ ජනතාව පෙළගස්වන්නේ ජනතාවට සාධාරණය හා යුක්තිය ඉටුවන, නිතීය හා විධානය ආධිපත්‍යය තහවුරු කරන පාලනයක් වෙනුවෙන් බවද පවසා සිටියේය.

රනිල්, මෛත්‍රී, මහින්ද යනු කඳවුරු ගොඩක් නොවන බවත්, ජනතාව පීඩාවට පත්කරන එකම කඳවුරක් බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා, රනිල් වික්‍රමසිංහගේ පාලනය පලවා හැරීමට ජනතාව පෙළ ගස්වනවා මෙන්ම, මෙරට ගොඩනැගීමට සමත් වන ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවද පැවසීය.

මෙම විරෝධතා රැලියට සමගාමීව පුංචි බොරැල්ල මංසන්ධියේ සිට විරෝධතා පෙළපාළියක්ද පැවැත්විණි.



Recommended Articles