ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට කෘෂිකාර්මික හා ධීවර අංශවල නියැලි සිටින ජනතාවට සහන සැලසීම සඳහා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි එරට විසින් පරිත්‍යාග කරන ලද ඉන්ධන ලීටර් මිලියන 10.06ක ප්‍රමාණයක් මේ වනවිට මෙරට ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මෙම ඉන්ධන ලීටර් මිලියන 10.6 මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු අතර ඉන් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික ක්ෂේත්රයට ලැබෙන බැවින් සමස්ත ඉන්ධන ප්‍රමාණයම නොමිලයේ ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.
අද දින පෙරවරුවේ (27) පශුසම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා අදාල ඉන්ධන තොගය බාර ගැනීම සඳහා කොළඹ වරායට ගියේය. එම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මෙරට චීන තානාපති Qi Sheng Hong මහතා, ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදී අදහස් පළ කළ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මෙරට ධීවර හා කෘෂිකාර්මික අංශවලට ලබා දීම සඳහා ඉන්ධන විශාල ප්‍රමාණයක් ලබා දීම සම්බන්ධව චීන රජයටත් ජනතාවටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතඥතාවය පළ කරන බව ද කියා සිටියේය.
එමෙන්ම මෙම ඉන්ධන තොගය ඉදිරි කාලය තුළ ගොවි ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුනු මෙම ඉන්ධන තොගයෙන් ලීටර් මිලියන 7.5ක් කෘෂිකාර්මික ක්ෂේත්රයට ලැබෙන නමුත් මේ වනවිට අපේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක මහ කන්නය සඳහා කුඹුරු අස්වද්දා අවසන් බැවින් කුඹුරු අස්වැද්දීම සඳහා එම ඉන්ධන ලබා දීමට නොහැකි වී තිබේ.
එමනිසා මහ කන්නයේ අස්වනු ආරම්භ වූ පසු දිවයිනේ හෙක්ටෙයාර් ලක්ෂ 08ක් පමණ වගා කරන සියලුම ගොවීන්ට අස්වනු නෙලීම සඳහා මෙම ඉන්ධන නොමිලයේ ම සැපයීමට කටයුතු යෙදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි අවශ්‍ය පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට ගොවිතැන් කටයුතු සඳහා ඉන්ධන බෙදාහැරීමට සකස් කර ඇති ඉන්ධනහල් නාම ලේඛනය අනුව, එම ඉන්ධනහල් මගින්ම මෙම ඉන්ධන තොගය ගොවි ජනතාව වෙත නොමිලයේ බෙදා හැරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.