චීන නියෝජිත පිරිස ජනපති හමුවෙයි


මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

වසර 60කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබුණු සහය පිළිබඳ මෙහි දී කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය යුද සමයේ දී චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් සුවිශේෂී සහාය ද ශ්‍රී ලංකාව කිසිසේත් අමතක නොකරන බවයි.

අතීතයේ පටන් චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සමීප සබඳතාව සිහිපත් කළ චෙන් මිනර් මහතා දෙරට අතර තානාපති සබඳතා ඇරඹීමට පෙර එනම් 1950 දී පමණ රබර් සහ සහල් ගිවිසුම ඇතිකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව සැබෑ මිත්‍රයෙකු ලෙස සිය රටට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදුන් බව ද සඳහන් කළේය.

දිළිඳුබව දුරලීමේ විශේෂඥයෙකු වශයෙන් ප්‍රකට චෙන් මිනර් මහතා චීනයේ දිළිඳුබව තුරන් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අදහස් දක්වමින් සඳහන් කළේ ග්‍රාමීය දුප්පත් ජනතාව සවිබල ගැන්වීමෙන් දිළිඳුබව තුරන් කිරීමේ සැලසුම් සාර්ථක වී ඇති බවයි.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතා මේ සම්බන්ධයෙන් නිලධාරින්ට ඉලක්ක ලබා දී ඇතැයි සඳහන් කළ චෙන් මහතා එබැවින් එම ව්‍යාපෘති ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ද කියා සිටියේය.

චීන කොමියුනිට්ස් පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සබඳතා තර කර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසකට චීන කොමියුනිට්ස් පක්ෂයේ ඊළඟ සංවත්සරය සඳහා සහභාගි වන ලෙසද  චෙන් මහතා ආරාධනා කර සිටියේය.

 



Recommended Articles