චම්පිකගේ රියදුරාගේ බිරිඳගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ රියදුරෙකු ලෙස කටයුතු කරන ප්‍රදීප් අල්විස් නමැත්තාගේ බිරිඳගෙන්  ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කළේයැයි පවසමින් “අභිමානී” කාන්තා සංවිධානය අද  (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

රාජගිරියේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙලෙස පොලිස් නිලධාරීන් පැමිණ ඇති අතර, එම නිලධාරීන් අයුතු ලෙස නිවසට ඇතුළු වී නිවස පරීක්‍ෂා කළ බවත්, කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියෙක් ඔවුන් හා නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ප්‍රදීප් අල්විස් නමැති රියදුරුවරයා සොයගැනීමට නොහැකි වුවහොත් ඔහුගේ බිරිඳ සහ දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සිරගත කරන බවට එහි පැමිණි පොලිස් නිලධාරීන් තර්ජය කළ බවත්, පසුව සකස් කළ ලියවිල්ලකට අත්සන් කරන ලෙස අදාළ පොලිස් නිලධාරීන් පැවුසූ බවත් ප්‍රදීප් අල්විස් මහතාගේ බිරිඳ පැමිණිල්ල සමග ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

මෙලෙස පැමිණ ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ දොඩම්ගොඩ පොලීසියේ නිලධාරීන් යැයිද එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මෙම සිදුවීමෙන් ඔවුනගේ මානව හිමිකම් කඩවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස “අභිමානී”  කාන්තා සංවිධානය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ මහත්මිය  ඇතුළු පිරිසක් අද  (02දා) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණ මෙම පැමිණිල්ල භාරදුන්හ.

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles