ඝාතනයට ලක්වු ඉවෝන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතා


රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද  (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම නිහඬ විරෝධතාව පැවැත්වූ අතර, ඉන්පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරීයෙකු වූ කල්‍යානන්ද පෙරේරා මහතා සඳහන් කළේ, මරණ දණ්ඩනය ලබාදුන් පුද්ගලයෙකුට සමාව ලබාදීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

මෙම ක්‍රියාව නිසා අනාගතයේ බිහිවන ජනාධිපතිවරුන්ටත් නරක ආදර්ශයක් ලබාදී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

එබැවින් සාධාරණය වෙනුවෙන් හඬක් නැගීමට ජනතාව ඒකරාශී වෙමින් තිබෙන බවත්, වෙනත් රටක මෙවැනි දෙයක් සිදුවූවා නම්, එක රැයින් ගෙදර යාමට එරට ජනාධිපතිවරයාට සිදුවන බවත් කල්‍යානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.

පවතින ක්‍රමයට අනුව මෙරටට වඩා ලෝකයේ හැම රටක්ම හොඳ යැයි තමන් සිතන බවත්, මේ නිසා ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල නැවත වරක් ප්‍රශ්න කළ යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles