කෝටි 16කට අධික මත්ද්‍රව්‍ය ගුවන් තැපැල් ඔස්සේ එයි


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහත අද (24දා) ප්‍රකාශ කළේය.

මෙම ගුවන් තැපැල් පාර්සල් ඇමෙරිකා එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ තැපැල් ලිපිනයන් වෙත සෙල්ලම් බඩු සහ ආහාර ද්‍රව්‍ය අඩංගුව ටින් තුළ සගවා එවා තිබුණි.

මෙම පාර්සල් තුළ තිබී " කුෂ් " නැමැති ඇමෙරිකානු ගංජා ග්රැම් 4,673 ක් සහ මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 4,009 ක් බරැති පෙති 9,586 ක් සොයාගෙන තිබුණි .

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තු කාර්යය මණ්ඩලය, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිට දී සිදු කර තිබුණි.

මේ පිළිබඳව කිසිදු සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර  මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

 

 



Recommended Articles