කොළඹ වරාය නගරයේ මහජන උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ


කොළඹ වරාය නගරයේ ( PORT CITY COLOMBO ) මහජන උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරෙන අතර එම උද්‍යානය ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකිවන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය නගරය ඉදිකිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ප‍්‍රධාන කලාප 5ක් යටතේ මෙම ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.

මෙම මහජන උද්‍යානය අක්කර 35කින් සමන්විත අතර තම දරුවන් සමඟ ජනතාවට විවේකී සුවයෙන් ගත කළ හැකිවන පරිදි ඉතා ආකර්ෂණිය ආකාරයට මෙහි සකස් කිරීම් කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

ළමා උයන, විනෝද ක‍්‍රීඩා, උද්‍යානය අසලින් නිර්මාණය කර තිබෙන ඇල මාර්ගයේ ජල ක‍්‍රීඩා කටයුතු සිදුකිරීම ඇතුළු දරුවන්ට ක‍්‍රීඩා කළ හැකි ස්ථාන සකස් කෙරෙමින් පවතී.

පොල්, තල් ගස් ඇතුළු දේශීය ශාඛ වර්ග රැුසක් මෙහි රෝපණය කර ඇති අතර පරිසර හිතකාමී ආකාරයට තිරසර සංවර්ධනය යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

ඇවිදින මංතීරු, පදිකයින්ට සහ පාපැදිකරුවන්ට ගමන් කළ හැකි වන පරිදි කොළඹ වරාය නගරය තුළ මංතීරු සකස් කෙරෙමින් පවතී.

ගාලූ මුවදොර පිටිය මෙන් තුන්ගුණයකින් මෙම මහජන උද්‍යානය සමන්විත වන අතර ගාලූ මුවදොර සිට ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇවිදගෙනම කොළඹ වරාය නගරය මධ්‍යයේ පිහිටි මහජන උද්‍යානයට පිවිසිය හැකි වන පරිදි ප‍්‍රවේශ මාර්ගයක් ද සකස් කෙරේ.

මීට අමතරව කොළඹ වරාය නගරයේ විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම්, අප ජලය, වැසි ජලය භූගතව ගමන් කෙරෙන යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු ද මේ දිනවල සිදුකෙරෙමින් පවතී.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ 2014 වර්ෂයේදීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අළුතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි. සමස්ත ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි.

මුහුද ගොඩකිරීමෙන් බිහිකරන හෙක්ටයාර් 269 ක මෙම අලුත්ම භූමි ප‍්‍රමාණය වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයට සහසම්බන්ධීකරණය කෙරේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යානය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගණය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් සමන්විතයි.


මෙම එක් එක් කලාපවල ඉදිකිරීම් කටයුතු අදියර කිහිපයක් යටතේ අවසන් කිරීමට නියමිතයි.

කොළඹ වරාය නගරය තුළින් රටට ආර්ථික ප‍්‍රතිලාභ ඇතුළු තවත් විශාල ප‍්‍රතිලාභ හිමිවන අතර ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම ආයෝජකයින්ගේ අවධානය මේ වන විටත් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි යොමු වී තිබේ.




Recommended Articles