කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසර කිහිපය තුළ අඩාල වී තිබුණු අතර නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී උපදෙස් ලබාදුන්නේ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසයි.
කොළඹ වරාය නගරයේ හෙක්ටයාර් 269 ක බිම ගොඩකිරීමෙන් පසුව එහි අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට මැදිහත් වූයේ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය.
මේ අනුව අදියර කිහිපයක් යටතේ කොළඹ වරාය නගරය ඉදිකෙරෙන අතර එහි පාලම් 10 ක ඉදිකිරීම් කටයුතු ද මේ දිනවල කඩිනමින් සිදුකෙරේ. පාලම් 10 ඉදිවන්නේ කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගය හරහාය.
මීටර් 80 ක පළලින් යුත් කිලෝමීටර් 3 ක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඇල මාර්ගය කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන අතර එමඟින් කොළඹ වරාය නගරයට අලංකාර බවක් ලබා දේ.
කොළඹ වරාය නගරයේ ජල බැස්මට හා ඉංජිනේරුමය අවශ්‍යතාවයන් සඳහා ද මෙම මුහුදු ඇල මාර්ගය යොදාගැනීමට සැලසුම් කර තිබේ.
මෙහි පාලම් 5 ක් පදිකයින් සඳහා වෙන් කෙරෙන අතර ඉතිරි පාලම් 5 රථවාහන සඳහා වෙන්කර තිබේ.
මෙම පාලම් මීටර් 80 සිට මීටර් 130 දක්වා විවිධ දිගවලින් සමන්විත වන අත පාලම්වල පළල මීටර් 4 සිට මීටර් 42 දක්වා විවිධ පළළින් සමන්විත වේ.
මෝටර් රථ වාහන සඳහා වෙන්කර තිබෙන පාලම් කොන්ක්‍රීට්වලින් ඉදිකරන අතර මගීන් වෙනුවෙන් වෙන්කර තිබෙන පාලම් යකඩවලින් නිර්මාණය වෙමින් පවතී.
කොළඹ වරාය නගරය මැදින් ගමන් කරන මුහුදු ඇල මාර්ගයේ මගී ප්‍රවාහන යාත්‍රා යෙදවීමටත් සැලසුම් කර තිබෙන අතර ජල ක්‍රීඩාවල යෙදෙන කුඩා සැහැල්ලු යාත්‍රා ද මෙහි යෙදවීමට බලාපොරොත්තු වේ.
මීට අමතරව තවත් ජල ක්‍රීඩා අංග රැසක් ද මෙම මුහුදු ඇල මාර්ගය තුළ යෙදවීමට සැලසුම් කර තිබේ.
ගාලු මුවදොර පිටිය ( Gall face) ප්‍රදේශයට විවේකීව ගතකිරීමට පැමිණෙන ජනතාවට එහි වෙරළට යාමට සහ දිය නෑමට යෑම යම් යම් ගැටළු වලට හේතුවූවද කොළඹ වරාය නගරයේ වෙරළ තීරයට පිවිසීම සහ දියනෑමේ කටයුතු කිසිදු ගැටළුවකින් තොරව සිදුකිරීමට හැකි අතර ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ සිට කොළඹ වරාය නගරයට පාගමණින් පැමිණිය හැකි වන පරිදි පිවිසුම් මාර්ගයක් ද ඉදිකෙරෙමින් පවතී.
සාමාන්‍ය පොදු මහජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව කොළඹ වරාය නගරයට පිවිසිය හැකියි.
මෙරට විශාලම සංවර්ධන ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය තුළින් රටට ආර්ථික ප්රතිලාභ ඇතුළු තවත් විශාල ප්රතිලාභ හිමිවන අතර ආසියාවේ මෙන්ම මුළු ලෝකයේම ආයෝජකයින්ගේ අවධානය මේ වන විටත් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කෙරෙහි යොමු වී තිබේ.