කොළඹ උණුසුම් කළ විරෝධතා


කොළඹ නගරයේදී අද දිනයේදී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැතියේය. ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබුණත් එම ස්ථානයට විරෝධතාකරුවන් එක්නොවූහ.

මෙම විරෝධතා හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු


ජාතික උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධතාව

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජාතික උසස් ඩිප්ලෝමා ශිෂ්‍ය ව්‍යාපාරද ඊයේ (05දා) කොළඹදී විරෝධතාවක් පැවැත්වීය.

SLIATE ආයතනය නැවතත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීම, HND සිසුන්ට උපාධිය දක්වා ඉගෙනීමට අවස්ථාව ලබාදීම ආදී ඉල්ලීම් මුල්කරගිමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීය.

ඔවුහු ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ කෙටි වේලාවක් සටන් පාඨ කියමින් මාර්ගයේ වාඩිවී විරෝධතා දැක්වීය.


ඛනිජතෙල් දෛනික වැටුප් සේවකයන්ගේ විරෝධය

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ දෛනික වැටුප් ගෙවීමේ පදනම මත සේවය කළ පිරිසක් අද (05දා) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

2019 සැප්තැම්බර් 11 වැනිදා සේවයට බඳවා ගත් බව කියන මෙම පිරිස දින 180ක් සේවය කිරීමෙන් පසු ස්ථිර කරන පොරොන්දුව මත 167 දෙනෙකුව පසුගිය රජය විසින් සේවයට බඳවා ගත් බවත්, ඒ අනුව මාස දෙකහාමාරක කාලයක් සේවය කළ බවත් එම පිරිස් පවසා සිටියහ.

මැතිවරණයෙන් පසු වෘත්තීය සමිති විසින් මෙම සේවකයන්ට සේවයට පැමිණීමට ඉඩ ලබා නොදුන් බවද රැස්ව සිටි පිරිස සඳහන් කළහ.

සම්මුඛ පරීක්‍ෂණ පවත්වා නියමිත ක්‍රමවේදය අනුව බඳවා ගත් බව කියන මෙම පිරිස සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ සභාපතිවරයාගෙන් හා විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසා සිටියද, ඔවුන් පවසන්නේ මෙම පත්වීම් ලබාදීම නියමිත ක්‍රියා පටිපාටියෙන් බාහිරව සිදුකර ඇති බව පැවසුවත්, මෙම සේවක පිරිසට වැටුප් ගෙවීම් සිදුකළ බවයි.

ඔවුන් සියලු දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙසත්, ඔවුන්ට ලබාදීමට නියමිත දින 18ක හිඟ වැටුප් ගෙවන ලෙසත් එම පිරිස් වත්මන් රජයෙන් ඉල්ලා සිටිති.

 


ව්‍යාපෘති නිලධාරී විරෝධය

පසුගිය රජය විසින් ලබාදුන් ව්‍යාපෘති නිලධාරී පත්වීම් නැවත ලබාදෙන ඉල්ලමින් ව්‍යාපෘති සහායක පත්වීම්ලාභීන් පිරිසක් අද (05දා) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

පසුගිය රජය විසින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්‍ෂණ දෙකක් පවත්වා නියමිත ක්‍රමවේදය අනුව පක්‍ෂ භේදයකින් තොරව මෙම පත්වීම් ලබාදුන් බවත්, මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග මෙම පත්වීම් ලබාදුන් පිරිසට වැඩ පැවරීම මැතිවරණයෙන් පසුව සිදුකිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිපියක් මගින් දැන්වූ බවත්, මැතිවරණය අවසන් වුවද මේ වනතුරු එම පත්වීම් ලබානොදුන් බවත් එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජගත් මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

එසේම ඔවුහු මේ පිළිබඳ අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ලිපි මගින් කිහිපවරක්ම දැනුවත් කළ අතර, නිසියාකාරව ලබාදුන් ඔවුන්ගේ පත්වීම් නැවත ලබාදෙන ලෙසද වත්මන් රජයෙන් ඉල්ලා සිටියේය.



Recommended Articles