කෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීමට 'ඇට්ලස් ඇක්සීලියා' සමාගම පසුගිය දා සමත්විණි.
හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සීලියා සමාගම විසින් මෙම ස්වයංක්‍රීය නියමු රොබෝ යන්ත්‍රය (AVG) නිර්මාණය කර ඇති අතර, මෙමගින් දුරස්ථව සිට ආසාදිතයන් පරික්ෂා කිරීම, ඔවුන්ට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සත්කාර ලබාදීම සිදුකළ හැකිය. මෙම රොබෝ යන්ත්‍රයෙහි මුල් ආකෘතිය පසුගියදා හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි.
මෙහි සවිකර ඇති කැමරා පද්ධතිය හරහා වෛද්‍යවරුන්ට ආසාදිත රෝගීන් සමග දුරස්ථව සංවාදයේ යෙදෙමින් රෝගියා පරික්ෂා කළ හැනිය. සෞඛ්‍ය සේවකයන් රෝගීන් ස්පර්ශ කිරීම උපරිම මට්ටමින් පාලනය කිරීම සඳහා මෙම රොබෝ යන්ත්‍රය රැහැන් රහිත (වයර්ලස්) ආරෝපණ හැකියාවෙන් ද යුතු වෙයි. රෝගීන් පරික්ෂා කිරීම ස්වයංක්‍රීයකරණය කර ඇති බැවින්, සිය සෞඛ්‍යය රැකගන්නා අතරම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනට අඛණ්ඩව දායකත්වය ලබාදීමටද සෞඛ්‍ය අංශයේ සේවකයන් හට මේ හරහා අවස්ථාව උදා වේ.
මෙම රොබෝ යන්ත්‍රය පූර්ණ වශයෙන් ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර, මෙවැනි රොබෝවරයෙක් මෙරට නිර්මාණය වූ පළමු අවස්ථාවද මෙය වේ. මේ වනවිට මෙම ආකෘතිය හෝමාගම මූලික රෝහල තුළ අත්හදා බැලෙමින් පවතී. රොබෝව තුළින් යම් ගැටලුවක් ඇති වුවහොත් එයට පිළියම් යෙදීමටද මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කළ කණ්ඩායම රෝහල් කාර්යමණ්ඩලය සමග කටයුතු කරයි. තවද කොරෝනා වසංගතය දුරලීම සඳහා තවත් ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත මෙහි තාක්ෂණය ලබාදීමට ද ඇට්ලස් සමාගම අපේක්ෂා කරයි.
ඇට්ලස් සමාගමේ නිෂ්පාදන කර්මාන්තශාලාව තුළ භාණ්ඩ හැසිරවීම සඳහා සහකරුවෙකු ලෙස මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණ කෙරුණු අතර, පවතින වසංගත තත්ත්වය පැනනැගීමත් සමගම මෙම රොබෝ යන්ත්‍රය වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායම කටයුතු කර ඇත. ඇට්ලස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / මෙහෙයුම් අධ්යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් එම සමාගමේ නිෂ්පාදන සහ ඉංජිනේරු අංශය විසින් මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත. මෙම වසංගත තත්ත්වය පහව ගිය පසු මෙම රොබෝ යන්ත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමටද ඇට්ලස් සමාගම බලාපොරොත්තු වෙයි.