කොටුව සහ මරදාන යාකෙරෙන නව සංවර්ධන කලාපයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ  උපදෙස් පරිදි කොටුව පාවෙන වෙළද සංකිර්ණය කඩිනමින් පිළිසකර කිරිමේ කටයුතු ඊයේ (24) දින ආරම්භ කෙරිණි.

මීට අමතරව කොටුව සිට මරදාන දක්වා පදික මාවතකින් සහ නව සංවර්ධන කලාපයක වැඩකටයුතුද මේ සමඟම ආරම්භ කෙරිණි.


බැස්ටියන් මාවත සහ ඩි.ආර්. විජේවර්ධන මාවත කොළඔ ගෙදර ප‍්‍රදේශයෙන් පදික මාවතක් ඉදි කෙරෙන අතර එය මරදාන  හංදිය  දක්වා දිවෙන අතර එම පදික මාවත එක්ස්පර්ට් සිටි  එක තුළින් කාර්මික විද්‍යාලය  අසල කැළෑපොළ  හරහා යළි කොටුව  පාවෙන වෙළද  සංකිර්ණය හරහා කොටුව දුම්රිය  ස්ථානය දක්වා විහිදේ.

මේ අතරතුර වෙළදසැල්, විවේක ස්ථාන , ආහාරපාන ලබාගන්නා ස්ථාන, ගස් සහිත කුඩා උද්‍යාන නිර්මාණය කිරිමට සැලසුම් කර තිබේ.  

කෙටිකාලීන  සංවර්ධන  වැඩසටහන යටතේ කොටුව පාවෙන වෙළද සංකිර්ණය යළි පිළිසකර කිරිමේ කටයුතු ආරම්භ කෙරුණු අතර එම කටයුතු මේ වසරේ නොවැම්බර් 17 වැනිදාට පෙර අවසන්  කිරිමට නියමිතයි.

මේ අනුව කොටුව පාවෙන වෙළඳ සංකීර්ණ පිළිසකර  කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වේ.

පසුගිය වසර 4 1/2 ක කාලය තුළ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයෙහි නිසි පරිදි නඩත්තු කටයුතු සිදුනොවූ නිසා එම වෙළඳසැල් රැසක් වසා දැමීමට එම වෙළඳසැල් හිමියන්ට සිදුව තිබේ. ඒ ආකාරයට වෙළඳසැල් සියයට අසූවක් පමණ වසාදැමීමට සිදුවූ බව එම වෙළඳසැල් හිමියන් විසින් පෙන්වා දෙන ලදී.

මීට අමතරව පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප‍්‍රශ්න ද මතුවී ඇත.

මෙම සියලූ කරුණු ගැන අවධානය යොමු කළ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නේ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙසයි.

වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය.

රටේ උරුමය, දේශීය නිෂ්පාදන, වස විසෙන් තොර ආහාර ඇතුලූ කරුණු කිහිපයක් ගැන උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.

වෙළඳසැල් 103 කින් පමණ සමන්විත පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වු මුදල රුපියල් මිලියන 312කි.

වියදම රුපියල් මිලියන 312කින් සීමාකිරීමට හැකි වූයේ යුධ හමුදාව සහ නාවික හමුදාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කල නිසාය.

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට විශාල ආයෝජනයක් වූ අතර වැයවුණු රුපියල් මිලියන 312 ක් 50% එම වසර 5ක් තුල අයකර ගැනීමට ද සැලසුම් කර තිබුණි.

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළ කාලයේ දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණිය ද පසුගිය වසර 4 1/2ක කාලය තුළ මීට නිසි අවධානයක් සිදු නොවූ නිසාත් මෙහි නිසි නඩත්තුවක් සිදු නොවු නිසාත් මෙම වෙළඳ සංකීර්ණය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය.

දිරාපත් වු ලැලි ඉවත්කර නැවත සැකසීම, විදුලි ආලෝක පද්ධතිය සවිකිරීම, ජලය පිරිසිදු කිරීම ගස් වැවීම ඇතුළු භුදර්ශන සැලැස්මට අනුව එම ප‍්‍රදේශ සැකසීම සිදුකිරීමට නියමිතයි.

කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ වෙළඳ සංගමයේ සාමාජික දුමිදු වික‍්‍රමාරච්චි මහතා ප‍්‍රකාශ කරන්නේ පසුගිය වසර 4 1/2 තුළ කිසිවෙකුගේ  අවධානයට ලක්නොවූ මෙම වෙළඳ සංකීර්ණය යළි  අලූත්වැඩියා කිරීමට අවධානය යොමු කිරීම ඉතා කාලෝචිත බවයි.

නිසි පරිදි නඩත්තු කරමින් මෙය පවත්වාගෙන යාම තුළින් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත හැකි බවත් වෙළෙදුන්ට හොඳ ආදායමක් උපයා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.





Recommended Articles