මෙරට දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ .
ඇමරිකාවේ සත්ව ගොවිපලකින් අරාබි සම්භවයක් ඇති උසස් පෙළ පතක අශ්වයකුගේ ශුක්‍රාණු මෙරටට රැගෙනවිත් කෘතිම සිංචන ක්‍රමය මාර්ගයෙන් මෙහි සිටින නවසීලන්ත සම්භවයකින් යුත් උසස් අශ්ව දෙනකුගේ ගර්භාෂය තුළට එම ශුක්‍රාණු ඇතුළු කර පැටවා පිළිසිඳ ගැනීමට සැලැස්වීමෙන් අනතුරුව මාස 12කට ආසන්න ගැබ් කාලෙකින් පසුව එම පැටවා බිහි කළ බව සමරකෝන් මහතා පැවැසීය. එම පැටවා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.
මහනුවර පල්ලේකැලේ යුධ හමුදා රයිෆල් බළකා කදවුර ආශ්‍රිතව පිහිටි අශ්වගාල කේන්ද්‍ර කර ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම නව අශ්ව විශේෂය බිහි කිරීමට හැකිවූ බවද ඒ මහතා පවසයි . මෙම අශ්ව විශේෂය අප රටට ගැලපෙන විශේෂිත වූ අශ්ව ප්‍රභේදයක ආරම්භයක පුරුක ලෙස හැඳින්විය හැකි බව පවසන ඒ මහතා එම පැටවා මීට දින තුනකට පමණ පෙර උපත ලද බවත් එම පැටවාට සමන්තා ලෙසින් නම් තැබූ බවත් පැවසිය .
මෙම ක්‍රමය උපයෝගී කරගනිමින් මෙරටට අවශ්‍ය ඉතා උසස් තත්ත්වයේ ගවයන් හා එළුවන් වැනි සතුන් ද පහසුවෙන් බිහිකර ගත හැකි බවද සමරකෝන් මහතා සඳහන් කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් මහතා හා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා යන මහත්තුරුන් මෙම කටයුතු සඳහා විශේෂ දායකත්වයක් ලබාදී තිබේ .
ෂේන් සෙනෙවිරත්න