කුල දරුවෝ පනස් නමක් සම්බුදු සසුනට


ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස්  දෙනෙකු  පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද  (04)  දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී   සිදු කෙරිණි .

රන්ගිරි දඹුල්ල රාජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති   අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයක් අනුව කුල දරුවන් 50 දෙනෙකු මෙසේ සසුනට ඇතුළත් කිරිම රන්ගිරි දඹුල්ල රජමහා විහාරදී   අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේ සිට දඹුලු විහාරය දක්වා කුල දරුවන් පෙරහැරකින් රැගෙන විත් දෙමවුපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කළහ .

මෙහිදී අනුශාසනාවක් කල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් කියා සිටියේ වර්තමානයේ ජනතාව මහා සංඝරත්නය කෙරේ පමණක් විශ්වාසය තබා තිබෙන මොහොතක් බවය. රට රකින  හමුදාව හා පොලීසිය මෙන් අද මහා සංඝරත්නයද හමුදාවක් මෙන් බවය .

මාතලේ දිස්ත්‍රික්කයේ   පිහිටුවන ලද සාමග්‍රී  භික්ෂු බල මණ්ඩලය මෙය සංවිධානය කරනු ලබන බවත්  සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමඟියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිදිම අරමුණු කරගෙන මෙම  පැවිදි පිංකම සිදුකරන බව සංවිධායකයෝ පවසති.

මීට වසර 37කට ඉහතදී දඹුල්ල වළගම්බා පිරිවනෙහි පනස් නමක් පැවිදි කිරිමේ උත්සවයෙන් පසුව  50 දෙනෙකු දරුවන් පැවිදි බිමට පත් වීමේ උදාර පින්කම සිදු කෙරෙන බව විහාරාධිපති හිමියෝ පවසති.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පන්සල් පැවතියද භික්ෂූන් වහන්සේලා නොමැතිව ඒවා විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන් ගේ අඩුවීම බරපතළ ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවය. කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි කාලයේ බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව රන්ගිරි දඹුල්ල රාජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක දඹුලු රජමහා  විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති   අඹගස්වැවේ රාහුල නාහිමියෝ  සඳහන් කළහ.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස



Recommended Articles