කුඹුරු අක්කර 10000ක් විනාශයි


පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පිඹුරත්තෑව, පූනානි විල්ලූව, පිටාර ගැලීම හේතුවෙන් මහවැලි බී   කලාපයේ නෙළුම්වැව, පන්සියතුන කලාපය, අරලගංවිල, වැලිකන්ද, රුවන්පිටිය, නාමල්ගම, අසේලපුර ඇතුළු පහත් බිම්වල කුඹුරුවල පැලගොයම ගංවතුරට යටවීමේන් අක්කර දාහ දාහක පමණ ප්‍රමාණය පැළගොයමසම්පූර්ණයෙන්ම කුණු වී විනාශ වී ඇති බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.

මේ වනවිට පහත් බිම්වල ගංවතුර තත්ත්වය බැස ගියද වතුරෙන් යටවී තිබු ගොයම කිසිදු විටෙක යළිත් දළුලන් නොමැති බවද ගොවීන් සඳහන් කරති.

මෙම තත්ත්වය මත මහවැලි බී කලාපයේ ගොවි පවුල් දෙදෙහස් පන්සියයකට පමණ ආසන්න පිරිසක් දැඩි අසරණතාවයට සහ අපහසුතාවයට පත්ව ඇති අතර එම කුඹුරු යළි මෙම කන්නේ අස්වැද්දීමට කාලයක් නොපවතින බව ද ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.

ඇතැම් කුඹුරුවල පැලගොයම ගංවතුරට යට වී, දින දෙක තුනක් ඇතුලත එම ගංවතුර බැස යෑම හේතුවෙන් එම පැළ ගොයමට කිසිදු හානියක් නොමැති බවත්, දින පහ හයක් කාලයක් තිස්සේ ගංවතුරින් යටව පැවැති  පැළ ගොයම සහ පීදීමට ආසන්නයේ පැවැති ගොයම් විනාශ වී ඇති බවද මහවැලි බි කලාපයේ ගොවීන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගංවතුරෙන් හානියට පත් පැලගොයම සඳහා තමන්ට කිසියම් වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් කියති.

අප මේ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අරුණ නිරෝෂන්   මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී පැවසුවේ ගොවි සංවිධාන මට්ටමෙන් ගංවතුරෙන් හානියට පත්   කුඹුරු සඳහා වන්දි මුදලක් ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට උපදෙස් හා පත්‍රිකාවක් ලබා දී ඇති බවයි.

ඒ අනුව ලබා ගන්නා තොරතුරු මත අදාළ ගොවීන්ට කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය යටතේ වන්දි මුදලක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද අරුණ නිරෝෂන් මහතා වැඩිදුරටත් කීය.

මේ වන විට මහවැලි බී කලාපයේ මාදුරුඔය කුඩාඔය පිඹුරත්තෑව ඇතුළු වැව් සහ අමුණුත් පිටාර ගැලීම හේතුවෙන් හානියට පත් කුඹුරු බිම් ප්‍රමාණය කොතෙක්ද යන්න මහවැලි කොට්ඨාශ කළමනාකාරවරුන් හා ඒකක කළමනාකාරවරුන් හරහා තොරතුරු ලබාගනිමින් සිටින බවත්, වහාම ඔවුනට ද වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල සකසන බව මහවැලි බි කලාපීය නේවාසික කළමනාකාර සුගත් විරසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.

මනම්පිටිය නිමල් ජයරත්න



Recommended Articles