කැති, උදලු රැගෙන වෙල්ලස්ස ජනතාව කොළඹට


වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.

මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පෙළපාළියකින් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී ලෝටස් පාරෙන් මාර්ග බාධක යොදා පෙළපාළිය වැළැක්වීමට පොලීසිය විසින් කටයුතු කරන ලදී.

ඉන්පසුව ලේවලින් අත්සන් කළ හා මහා සංඝරත්නයේ අත්සන් සහිත පෙත්සම් දෙකක් ජනාධිපතිවරයාට භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට නියෝජිතයන් 20දෙනෙකුට අවස්ථාව හිමි විය.

ඌව වෙල්ලසේ ඉඩම් අක්කර 62,000ක් ජනතාවගෙන් උදුරා ගෙන උක් වගා කිරීමට බහුජාතික සමාගමකට පැවරීමට සැලසුම් කර තිබෙන බව පවසමින් මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර තිබිණි.

මෙම ජනතාව වගාවන් කිරීම සඳහා යොදාගන්නා උපකරණ රැගෙන මෙම විරෝධතාවට එක්වූහ.

ඡායාරූප - ඉසුරු පෙරේරා

 



Recommended Articles