පාසල් ක්‍රිකට් වැඩිදියුණු කිරීමට ප්‍රමුඛත්වය .......
හෝමාගම දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවට අනෙකුත් ක්‍රීඩාංගණවල පහසුකම් වැඩිදියුණු කිරීමට අවධානය.......
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීකට් පරිපාලනය සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයින් සම්බන්ධීකරණයෙන් මෙම ජාතික වැඩසටහන සකස් කරන ලෙසත් මාසයක් ඇතුළත එම වාර්තාව ලබාදෙන ලෙසත් එහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් ක්‍රීඩා ද වැඩි දියුණු කළයුතු අතර ජාත්‍යන්තරව ජයගත හැකි ක්‍රීඩා සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා ගේ අපේක්ෂාව ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය ගොඩනැංවීම බව අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී හෝමාගම දියගම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයින් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයින්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීමටත් දැනට සංවර්ධනය කළ යුතු සහ පහසුකම් වැඩි දියුණු කළ යුතු ක්‍රීඩාංගණ සංවර්ධනය කොට වැඩිදියුණු කිරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේය.
එහිදී අදහස් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතා -
මගේ පුද්ගලික අදහස වන්නේ රටේ සහ ලෝක වාතාවරණය හමුවේ මෙම මාතෘකාව කතා කළ යුතු ද යන්නයි.
1987 ලෝක කුසලානයට ක්‍රීඩා කළ පුද්ගලයෙක් හැටියටත් 1996 ලෝක කුසලානයට ක්‍රීඩා කළ පුද්ගලයෙක් හැටියටත් ලෝක කුසලාන දෙකක් සමසමව, අපට තිබෙන පහසුකම් සහිත ව ක්‍රීඩා කොට තිබෙනවා.
2006 මම තරඟ තීරකයෙක් හැටියට දහනවයෙන් පහළ ලෝක කුසලානයේ වැඩ කළා. ඒක සංවිධානය කළේ ලංකාවේ තිබෙන ක්‍රීඩාංගන අනුව. 2011 සමසමව වර්ල්ඞ්කප් එකක් මෙහි තිබුණා. 2012 වර්ල්ඞ්කප් එකත් අපි සංවිධානය කලා. ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ඉවත් කරනවා නම් ඒක වෙනත් තීරණයක්. නැත්නම් මගේ පුද්ගලික අදහස වන්නේ පවතින ක්‍රීඩාංගණ ටික සංවර්ධනය කරලා ඒ අයට සහයෝගය දීලා ඒක උසස් මට්ටමකට ගෙන ආ යුතු බවයි.
අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක අපි ක්‍රිකට් ගොඩනගන්න අවධානය යොමු කළ යුතුයි. මහේල සහ අපි එකතු වෙලා ක්‍රිකට් ගොඩනැංවීම පිළිබඳව සැලැස්මක් සකස් කරල අධ්‍යාපන අමාත්‍යංශයට භාරදුන්නා. මම හිතනවා පාලක මණ්ඩලය පැත්තෙනුත් ක්‍රිකට් ගොඩනඟන්න සංවිධානය විය යුතුයි කියලා.
එක පැත්තක් නොගෙන අවංකව කතා කරන්න අවස්ථාව ලබා දුන්න නිසා මම කියන්න කැමතියි, අපිට ජාතික මට්ටමේ සැලැස්මක් ක්‍රීඩාවට තිබිය යුතුයි. මට වගකීමක් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වුවත් අනෙකුත් සෑම ක්‍රීඩාවකටම අදාළ වන පරිදි ජාතික සැලැස්මක් තිබිය යුතුයි. එහෙම තිබුණොත් කුමන පාර්ශවයක් නායකත්වයේ සිටියත් වෙනස් කරන්න බැහැ. උදාහරණයක් කිව්වොත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයක් හදන්න පටන් ගත්තා. නමුත් බලය වෙනස් වුණාට පස්සේ ඒක නවත්තලා වෙනම සැලැස්මකට ගියා. ජාතික සැලැස්මක් තිබෙන අවස්ථාවකදී නම් ඒ වගේ දෙයක් සිදු වන්නේ නැහැ.
ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා -
පාසල් ක්‍රිකට් වලට ගිය වසරේ අපි සෑහෙන වැඩ කොටසක් කලා. අපි ගත්තොත් මධ්‍යම පළාතේ ක්‍රිකට් සෙල්ලම් කරන පාසල් 50 ක් තිබෙනවා. නමුත් තණතිල්ල සහිත ක්‍රීඩාංගන තිබෙන්නේ හතරයි. බස්නාහිර පළාත ගත්තොත් පාසල් එකසිය 169 ක් තිබෙනවා. ඒකෙන් පාසල් 18ක පමණයි තණතිලි සහිත ක්‍රීඩාංගන තිබෙන්නේ. උතුරු පළාත ගත්තොත් ක්‍රිකට් සෙල්ලම් කරන පාසල් 26 කට තණතිල්ලක් සහිත එක ක්‍රීඩාංගණයක් පමණයි තිබෙන්නේ. සබරගමුව පළාත ගත්තොත් එක ම තණ තීරුවක් සහිත ක්‍රීඩාංගනයක් හෝ නැහැ. වයඹ පළාත ගත්තොත් සෑහෙන ක්‍රීඩකයෝ බිහි කරල වුණත් පාසල් හතළිස් එකකට තණතීරු සහිත ක්‍රීඩාංගන තිබෙන්නේ තුනයි. දකුණු පළාත ගත්තොත් පාසල් 50ක් තිබුනට එක තණතීරුවයි තිබෙන්නේ. ඒ වගේම සභාපතිතුමා කිව්ව අපේ පළමු පෙළ කණ්ඩායම් වලටත් කණ්ඩායම් නවයකට තමන්ගෙ කියලා ක්‍රීඩාංගණයක් නැහැ කියලා. ඒකත් අවධානය යොමු කළ යුතු කාරණයක්. අපේ පළමු පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලිය ගත්තොත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වල සෙල්ලම් කරන්නේ කණ්ඩායම් දෙකයි. ඒ.එස්.එස්.සී ක්‍රීඩා සමාජය සහ ඕවල් ක්‍රීඩා සමාජයයි. අනෙකුත් කණ්ඩායම් තම තමන්ගේ ක්‍රීඩාංගනවල සෙල්ලම් කරනවා. එහෙම ගත්තහම ඒ දරුවන්ට ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල තණ තීරුවල සෙල්ලම් කරලා අත්දැකීම් නැහැ. සූරියවැව, දඹුල්ල, ඛෙත්තාරාම කියන ක්‍රීඩාංගන එකකවත් අපේ පළමු පෙළ ක්‍රීඩා තරඟ පැවැත්වෙන්නේ නැහැ.
අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අපි මුලින්ම ඒ පිළිබඳ හිතන්න ඕනේ. අපි මුදල් යොදවන්න ඕනෙ කොහෙටද කියලා අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ අවුරුදු පහළොවට විස්සටම අපි පාසල් ක්‍රිකට් ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ. අපි තණතීරු සමඟ ජාත්‍යන්තර මට්ටමකට ක්‍රීඩාංගන හදන්න ඕනේ. අන්තිම අවුරුදු 15 ගත්තොත් අපේ වැඩිපුරම ජාත්‍යන්තර ක්‍රීඩකයෝ බිහිවෙලා තිබෙන්නේ පිට පළාත් වලින්. කොළඹින් නෙවෙයි. නමුත් ඒ පිට පළාත් වලට අපි තවමත් අවශ්‍ය පහසුකම් ලබාදීලා නැහැ.
උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව අපි ඒ පළාත් වල දක්ෂ ක්‍රීඩකයින් දකිනවා. නමුත් ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් නැහැ. අපිට යුතුකමක් තිබෙනවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්න.
ඩොලර් මිලියන 40 ක ණයක් ගත්තොත් අපි සියයට තුනක හතරක පොලියක් ගෙවන්න ඕනේ. ඒ පොළියයි වාරිකයයි ගත්තොත් බිලියන 3.5 ක් ගානේ අවුරුදු දහයක් හෝ පහළොවක් හෝ අපි ඒක ගෙවන්න ඕනේ. ඒ මුදල අපේ ක්‍රිකට් ක්‍රීඩාවට යොදවන්න පුළුවන් නම් ඒ මුදලින් අපේ ක්‍රිකට් ක්ෂේත්‍රය හදන්න පුළුවන්නම් අපිට ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි කරන්න ඒක හොඳ ආයෝජනයක් වෙනවා.
ක්‍රිකට් කණ්ඩායම කියන්නේ හොඳ බ්‍රෑන්ඞ් එකක්. දැන් ඒ බ්‍රෑන්ඞ් එක නැහැ. කොවිඞ් 19 එක්ක ඉදිරි අවුරුදු තුන ගත්තොත් ජාත්‍යන්තරව අනුග්‍රහය සපයන පිරිස ඉදිරියේ දී අඩු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා මේ වන කොට ඒ වැඩ කරන අයගේ මුදල් ගෙවීම් අඩුකරලා තිබෙනවා. අපි හිතන්නේ නැහැ අපි හිතන විදියටම ඉදිරි අවුරුදු පහ තුළ ආදායමක් ලැබෙයි කියලා. එහෙම සැලැස්ම හැදුවොත් අපි ලොකු කරදරයක වැටෙනවා. ඒ නිසා අපේ රට ඇතුළේ තිබෙන තත්ත්වය බලමින් වැඩ කරන එක තමයි හොඳම දේ.
ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා.
මම හිතන්නේ මම වෙන්න ඇති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නෙ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. වෙන තැන්වලින් කවුරුත් ඇවිල්ලා නැහැ. අපි පොඩි කාලේ දැකපු ක්‍රිකට් ක්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල්වල තිබෙන දේවල් දැක්කම ඉතාම කණගාටුයි. ඒ නිසා පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රයට ළමයි වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක් වගකීමක් තිබෙනවා. ඒ තත්ත්වය නැති හින්දා මම යෝජනා කරනවා පාසල් වලට දෙන්න පුළුවන් සහයෝගයත් ලබාදිය යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩා සමාජවල තරඟාවලි අපි මීට වඩා ශක්තිමත් කළේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේ නැත්නම් අවශ්‍ය තණතීරු අවශ්‍ය අත්දැකීම් ලබාදුන්නේ නැත්නම් අපිට ශක්තිමත් ජාතික කණ්ඩායමක් බිහි කරන්න අමාරු වෙනවා. දැන් තියන ක්‍රීඩා සමාජවල තරඟාවලි ගත්විට ඒවායේ විශාල දුර්වලතා තිබෙනවා. අපේ ශම්මි සිල්වා මහතා කිව්වා වගේම විශේෂයෙන්ම එක් දුර්වලතාවයක් තමයි ක්‍රීඩා කරන කණ්ඩායම්වලට ජාත්‍යන්තර ක්‍රීඩාපිටිවල සෙල්ලම් කරලා අත්දැකිම් නැහැ. සමහර කණ්ඩයම්වලට හොඳ මට්ටමක ක්‍රීඩාපිටියකුත් නැහැ. ඉතින් මේ තත්ත්වය අපි දියුණු කරන්න නම් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අපිට විශාල මුදලක් වැය කරන්න වෙනවා.
ඒ වගේම උතුරු නැගෙනහිර ගත්විට යුද්ධයෙන් පසුව ගුණ - ජය සතුට පදනම තමයි මුලින්ම එහෙට ගිහින් ක්‍රීඩාපිටි හතරක් හැදුවේ. අවුරුදු 7ක් පමණ තිස්සේ අපි ලංකාවේ 19න් පහළ හොඳම කණ්ඩයම් 23ක් ගෙනගිහින් ඒ කරපු ක්‍රීඩා තරඟාවලියෙන් අපි දැක්කා හොඳ ක්‍රීඩා කුසලතා තියෙන ක්‍රීඩකයින් ඉන්නවා. නමුත් ඔවුන්ට තිබෙන පහසුකම් ඉතාමත් අවමයි. බංගලාදේශය ගත්විට විශාල ජනගහනයක් ඉන්නවා නමුත් අපේ තරම් හොඳ ක්‍රීඩාපිටි නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාපිටි අපිට තරම් නැහැ. හැබැයි ක්‍රීඩා කුසලතා අතින් ගත්තොත් ඔවුන් ඉහළින් ඉන්නවා. මොකද ඔවුන්ගේ සැලැස්ම ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි ගොඩක් රටවල් වල පාලක මණ්ඩලයට කියලා ක්‍රීඩාපිටි අයිති නැහැ. ඔවුන්ට ඒවා නඩත්තු කරන්න යන වියදම අඩු කරගන්න ඕන නිසා ඔවුන් ඒවා විමධ්‍යගත කරලා තියෙන්නේ ප්‍රාන්තවල ක්‍රිකට් සංගම්වලට ඒ ක්‍රීඩාපිටි භාරදීලා. පසුගිය අවරුදු කිහිපය ගත්විට අපි කළ ආයෝජනයට සහ අපිට ආදායමක් තිබුණේ නැහැ. 2011න් පසුව රජයට විශාල පාඩුවක් සිදුවුණා. විශාල කාලයකට පසුව රජයට සිදුවුණා ක්‍රිකට් ක්‍රීඩාව නඩත්තු කරන්න මුදල් යොදවන්න. ඒක විශේෂිත කරුණක්.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පහසුකම් බැලුවොත් විශේෂයෙන් ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ගත්තොත් ගෘහස්ත පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණයක් නැහැ අපිට. ඒ කාලේ ඉඳන් අපිට සැලැස්මක් නැහැ. එතැන තමයි අපේ ජාතික කණ්ඩායම පුහුණු වෙන්නේ, පල්ලේකැලේ ගත්තත් එහෙමයි. ගාල්ල ගත්තත් එහෙමයි. අපි මේ හැම දෙයක් දිහාම බැලුවාම අගමැතිතුමනි විශාල අඩුපාඩුකම් තිබෙනවා. මම හිතන්නේ මේ මුදල් ප්‍රමාණය ආයෝජනය කරලා ඉදිරියේදි ලොකු දෙයක් මේ රටේ අපිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කරන්න පුළුවන්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා
මේ ප්‍රශ්න ක්‍රිකට්වලට විතරක් අදාල නැහැ. හැම ක්‍රීඩාවකටම පොදුයි. පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ ජාතික මට්ටමේ ක්‍රීඩා ක්ෂේත්‍රය අතර සම්බන්ධීකරණයේ දුර්වලතාවයක් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලේ විතරක් නෙවෙයි ඊට කලින් අපේ ආණ්ඩුව කාලෙත් ඒ සම්බන්ධීකරණ ගැටළුව තිබුණා. නමුත් ක්‍රිකට් බෝඩ් එක සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව කියන දේ සම්පූර්ණයෙන්ම ඈත් වුණා. ඔය ප්‍රශ්නෙ අද ඊයෙ ආපු එකක් නෙමෙයි. ඕක ජාතික මට්ටමේ සැලැස්මක් නැති එකේ අඩුපාඩුවක්. ඕනම ක්‍රීඩාවක් ගැන කතා කළොත් අපි හැමතිස්සෙම කතා කරන්නේ ක්‍රීඩාංගණ සහ පහසුකම් ගැන. නමුත් ඒ ක්‍රීඩාවේ සංවර්ධන වැඩසටහන ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන්වත් මේ හැමෝම එකතු කරගෙන සංවර්ධන වැඩසටහනත් එක්ක ක්‍රීඩාව එකතු කළ යුතුයි.
හොඳම උදාහරණය හම්බන්තොට වරාය සහ කොළඹ වරාය අතර හයිවේ එක හදපු එක. ඒ වගේ සම්බන්ධීකරණයක් තිබුණෙ නැත්නම් තව අවුරුදු ගණනාවක් ගියත් අපි මේ ගැටළුවට විසඳුමක් සොයා ගන්නේ නැහැ. නායකත්වය තියෙනකන් අපි මේ හැම ගැටළුවක්ම විසඳාගෙන ඉදිරියට යයි. නමුත් නායකත්වයක් නැති දවසට ක්‍රීඩාව වැටෙනවා. එහෙම වෙන්නේ නැතුව දේශපාලනිකව මොන නායකයා මොන ආණ්ඩුව ආවත් ක්‍රීඩා පරිපාලනය නිවැරදිව ඉදිරියට යන ක්‍රමයක් හදන්න ඕනේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා
සනත් කිව්වොත් මාලිංග කිව්වොත් රොෂාන්ලා කිව්වොත් ලෝකයේ ශ්‍රී ලාංකීය බ්‍රෑන්ඞ් එකක් බවට පත්වෙලා තිබෙනවා. මේ අය හැදුවේ කොහොමද. පාසල් ක්‍රිකට් ගහලා ලංකාවේ ක්‍රිකට් ගහලා තමයි මේ අය මේ තරම් ලෝකේ ප්‍රසිද්ධ වුනේ. මෙතන අඩුපාඩු තියන එක ඇත්ත. අපි බලන්න ඕනේ තවත් සංගක්කාරලා හදන්න.