කළමනාකරණ සහකාර සේවය කලින්ම 27 දා ලෙඩවෙයි


කළමනාකරණ සහකාර සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (21දා) දිවයිනේ ස්ථාන දෙකක සිදුකළ විරෝධතාවලට රජය ප්‍රතිචාර නොදැක්වූ බැවින් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

පවතින ශ්‍රේණි ගැටලු, වැටුප් ගැටලු හා රාජ්‍ය කළමනාකරණ නිල නාමය ඇතිකර ගැනීම ඇතුළු ගැටලු 16ක් මුල්කර ගනිමින් කොළඹදී හා අම්පාරේදී විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවද එම සන්ධානයේ සාමාජික, රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පළිහවඩන මහතා සඳහන් කළේය.

වසර ගණනාවක සිට පවතින ගැටලු විසඳා ගැනීමට බලධාරීන් සමග මෙතෙක් පැවැත්වූ සාකච්ඡා සියල්ලම අසාර්ථක වූ බැවින් අද (21දා) බත්තරමුල්ලේදී හා අම්පාරේදී විරෝධතා පාගමන් දෙකක් සහ විරෝධතා රැලි දෙකක් පැවැත්වූ බවද හෙතෙම කියා සිටියේය.

බලධාරීන් එයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් රට පුරා සිටින කළමනාකරණ සහකාර නිලධාරීන් හැත්තෑදෙදහසකට අධික ප්‍රමාණයක් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර කොළඹ නගරයේදී දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බවද සභාපතිවරයා පැවසීය.

 ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles