කලුආරච්චියාගම නිවෙස් කිහිපයක පමණක් පොලොව සෙලවෙයි


අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ 20 දින රාත්‍රියේ නිවෙස් කිහිපයක භූ  චලනයක් වැනි සිද්ධියක් වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මෙම ප්‍රදේශයේ නිවාස කිහිපයකට දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද මෙම ශබ්දය ඇසුණු බවත් කළුආරච්චියාගම රංජිත් විමලසේන මහතාගේ නිවසේ බිම්ට අල්ලා තිබූ ටයිල් සියල්ල ඉහළට එසවී පුපුරා ගොස් ඇති බව ඔහු සඳහන් කළේය

 රාත්‍රී  10:30 ට පමණ එක් වැවර ම තම නිවසෙහි වහලය මත විශාල ශබ්දයක් ඇසී තම බිරිඳ සමග සොයාබැලීමේදී කිසිවක් දැක ගැනීමට නැති බවත් පසුව නැවත නිවෙස තුළට එද්දී සාලයේ තිබුණු ටයිල් එක් වැරම ඉදිරියට නෙරා ගෙන එන්නට පටන් ගත් බව ඇසින් දුටු සිද්ධිය පිළිබඳව ඔහු සඳහන් කරන්නට විය.

 මෙම නිවස ආසන්නයේම පිහිටි තවත් නිවසක එදිනම දහවල් කාලයේ වහලෙින් ශබ්දයක් ඇසුණු බව එම නිවෙස් හිමියෝ පවසති. කෙසේ වෙතත් ඊට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි තවත් නිවසකට එදිනම රාත්‍රී 10:30 ට පමණ විශාල ශබ්දයක් ඇහුණ බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට දැනුවත් කළ බවද නිවැසියෝ පවසති.

කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර වහාම මේ පිළිබඳව සොයා බලන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරති.



Recommended Articles