මේ ව්‍යසසනය හමුවේ ජනී ජනයා රොද බැඳි බොහෝ තැන් පාළුවෙන් පාළුවට ගොස් තිබේ. බොහෝ සිද්ධස්ථාන ආශ්‍රිතවද දැකිය හැක්කේ එවැනිම දසුනකි. ඉන් සිදුව ඇත්තේ මේ පුදබිම් වැදපුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන්ට යමක් විකුණා එදිනෙදා දවස සරි කළ අපමණක් දෙනෙකුගේ ජීවනෝපායන් අහිමි වීමය. ඓතිහාසික අනුරාධපුරයට වට වන්දනාවේ එන සමහරෙකු අටමස්ථානෙන්, මිහින්තලයෙන් බැහැරව අවශේෂව වැදපුදා ගැනීමට පැමිණෙන ස්ථාන අතර අවුකන සහ රැස් වෙහෙර සිද්ධස්ථාන වෙත ඇත්තේ විශේෂ පිළිගැනීමකි. විසල් කලාවැව අභිමුව මොහොතක් නැවතී හිද මේ වෙහෙර විහාරස්ථාන දැක බලා වන්දනා කිරීම මෙහි එන ඈයන්ගේ සිරිත් සම්ප්‍රදාය වී තිබිණි. මෙකල්හි මේ පුදබිම් ද පාළුවෙන් පාළුවට ගොස් තිබේ.
රැස් වෙහෙර නොඑසේ නම් සැස්වෙහෙර විහාරස්ථානය අද දවසේ එකම පාළුපෙතකි. නන් දෙසින් විවිධ පිරිස් පැමිණි මේ භූමිය මෙදවස හුදකලා රජ දහනකි. රැස් වෙහෙරට වන්දනාකරුවන් එන සමයට නෙළුම් මල් ටිකක්, දිවුල්, අඹ, පේර, මාදං ආදී පලතුරක් විකුණා කීයක් හෝ උපයා ගැනීමේ අවස්ථාව ගැමියන්ට උදාවේ. එහෙත් එය එතරම් සරු වෙළෙඳාමක් නොවන්නේ පොහොය දිනයකට හැරුණු විට සති අන්තයේ හෝ එතරම් පිරිසක් මෙහි නොඑන බැවිනි. වෙසක්, පොසොන් සමයේ ජනයාගෙන් පිරී යතත්, මේ පවතින තත්ත්වය හමුවේ එසමයෙහිද මෙබිමෙහි පාළුව රජයනු නිසැකය. රැස් වෙහෙරට යාබද පොතානේගම ගමේ කුමාර සේමසිංහ මතුව ඇති අහේනිය පිළිබඳ හඬ අවදි කළේ මෙලෙසිනි.
“අඹ, දොඩම් ටිකක්, නෙළුම් මල්, ඕළු මල් ටිකක් කඩාගෙන, බඩඉරිඟු තම්බගෙන ඇවිල්ලා පන්සලේ වෙළෙඳාම් කරපු කට්ටියක් හිටියා. දැන් නම් කාලෙකින් එක්කෙනෙක්වත් දැක්කෙ නෑ. පන්සලට මිනිස්සු එන්නැති නැති නිසා වෙළෙඳාම් කරපු අයත් ඉබේටම නැවතුණා. අසරණ මිනිස්සු තමයි පන්සලට ඇවිල්ලා මල් ටිකක් විකුණලා කීයක් හරි හොයා ගත්තේ. ඒක නැතිවුණ එකෙන් ඒ මිනිස්සු දැන් මොනව කරලා ජීවත් වෙනවද දන්නෙ දෙයියො තමයි.”
ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව මහාවංශය රචනා කළ මහානාම හිමියන් අවුකන විහාර බිමෙහි වැඩ වාසය කළ බව සඳහන් වේ. පබ්බත කෝණ නමින් පැවැති මෙය පසුව පර්වත කොන, පවුරු කොන වී අවසන %අවුකන^ නමින් ව්‍යවහාරයට පැමිණි වගට ජනමූලාශ්‍ර සාක්ෂි දරයි. නැගෙනහිර දෙසට මුහුණලා ඇති ප්‍රතිමාව අව් රැසින් නැහැවී යන හෙයින් අවුකන ලෙස ව්‍යවහාර කරන්නට වූ බව තවත් ජනප්‍රවාදයක සඳහන් වේ.
ධාතුසේන රජ දවස ඉදිව ඇතැයි සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව එකල්හි පටන් දෙස් විදෙස් සැදැහැවතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වන්නකි. අඩි 38කුත් අඟල් 10ක් උසින් යුතු ප්‍රතිමාව පද්මාසනයක් මත පිහිටා ඇත. පද්මාසනයද සැලකූ විට අඩි 43ක පමණ උසකින් යුක්තය. අමරාවතී සම්ප්‍රදායට අනුව අභය නොඑසේනම් ආශිර්වාද මුද්‍රාව පිහිටන සේ භරණ ගල්වඩුවා විසින් පිළිමය නිර්මාණය කළ බව කියැවේ.
අවුකන සහ ඒ ආසන්නයේ ඇති වලව්වේගම ගම් දෙමායිමෙන් මහව සිට මඩකලපුව දක්වා දිවෙන දුම්රිය මාර්ගයද මේ ඉසව්වේ ඇති පෞරණික බව තවදුරටත් කුළුගන්වන්නකි. අවුකන දුම්රිය ස්ථානයේද හැලහොල්මනක් නැති සෙයකි. කලාවැවේ නිලන්ත පුෂ්පකුමාර වැව් මාළු වෙළෙඳාමෙන් දවස සරි කළ අයෙකි. මේ සාවියේ එදිනෙදා වෙළෙඳාම් කළ ඈයන් පිළිබඳව ඔහු පැවසුවේ මෙවැනි කතාවකි.
“මේ වැව් බැම්ම උඩ බඩඉරිඟු, කඩල, රටකජු, අඹ, දොඩම් වගේ දේවල් තියාගෙන විකුණලා ජීවත් වෙච්ච මිනිස්සු ගොඩක් හිටියා. දැන් ඒ මිනිස්සුන්ට වෙච්ච දෙයක් නෑ. ඒ හැමෝම දරු පවුල් ජීවත් කරවපු අය. අවුකන පන්සල ළඟත් පාළුවට ගිහිල්ලා තියෙන්නේ. ඒ කාලේ ඉරිදා, සෙනසුරාදා දවස්වලට පිට සෙනඟ අවුකන පන්සලට එනවා. ඒ එන අය අනිවාර්යෙන්ම කලා වැවටත් එනවා. ඉතිං මෙහෙ මිනිස්සු ඒ එන අයට වෙළෙඳාමක් කරලා කීයක් හරි හොයා ගත්තා. මෙදා වෙසක් පෝයත් නිකංම ගෙවිල යාවි. පොසොන් එකටත් මොනවා වෙයිද කියල කවුද දන්නේ. හැම අතින්ම පොඩි මිනිහා අසරණයි.”
අවුකන විහාරස්ථානයට සැතපුම් 10ක් පමණ දකුණු දෙසින් පිහිටි රැස් වෙහෙර අවධානයට ලක්වන්නේ අවුකන ප්‍රතිමාවට සමාන වන සේ එහි නිමවා ඇති බුද්ධ ප්‍රතිමාව හේතුවෙනි. අඩි 39කුත් අඟල් 04ක් උසට පිහිටන සේ නිමවා ඇති ප්‍රතිමාව අවුකන ප්‍රතිමාවට සාපේක්ෂව අඟල් 06ක් උස් වන සේ නිමවා ඇත. ප්‍රතිමාව අභය මුද්‍රාව විදහා දක්වන බවත්, සිරසෙහි සිරස්පතක් තිබූ බවට විශ්වාස කළ හැකි බව පුරාවිද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත. කෙසේ වෙතත් අවුකන ප්‍රතිමාවට සාපේක්ෂව රැස් වෙහෙර ප්‍රතිමාවේ නිර්මාණශීලී ජීවගුණය අවමය යන්න තතු දත් විශ්ලේෂණයයි. මෙය වැඩ නිම නොකළ ප්‍රතිමාවක්ය යන්න තවෙකෙකුගේ අදහසයි.
මෙම බුදු පිළිමය පිළිබඳ විවිධ ජනප්‍රවාද මේ ප්‍රදේශයේ ජනතාව අතර පවතී. එයින් එකක් වන්නේ මෙම බුදු පිළිමය අවුකන බුදු පිළිමයට පෙර සාදන ලද බවයි. මෙම පිළිමය නිර්මාණය කිරීමේදී මෙම පර්වතය ඒ සඳහා සුදුසු නොවූ හෙයින් අතරමග අතහැරපියා ගොස් අවුකන බුදු පිළිමය නෙළන්නට ඇතැයි යන්න තවත් ජනප්‍රවාදයකි. දෙවනපෑතිස් රජ දවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ රෝපණය කළ පසුව, එයින් හටගත් දෙතිස්ඵල බෝ රුක් වලින් එකක් මෙම පුද බිමෙහිද රෝපණය කළ බව සිංහල බෝධිවංශයේ සඳහන් වෙයි. එම බෝධීන් වහන්සේ අදටත් මෙම රැස් වෙහෙර පුදබිමේ දැකිය හැකිය.
ලෙන් විහාර දෙකක්ද මෙහි පිහිටා තිබේ. රැස් වෙහෙර මහකන්දේ උස අඩි 1143ක් පමණ වෙතැයි සැලකේ. විහාර භූමියේ පිහිටි දෙතිස්ඵල බෝධිය මගින් රැස් විහිදුණු බැවින් රැස් වෙහෙර වූ බව ජනප්‍රවාදයකි. එමෙන්ම පිහිටි ගලෙහි මෙම ප්‍රතිමාව නිර්මාණය කළ හෙයින් සැස්සේරුව පසුව රැස් වෙහෙර වූ බව තවත් ජනප්‍රවාද කතාවකි.
සුප්‍රකට කලා වැව මේ භූමියේ පිහිටි තවත් විශේෂ තැනකි. සඟවා ඇති ධනය දෙන්නැයි ඉල්ලූ කල්හි සිය පුතුට තමා සන්තකයේ ඇති ධනය මෙපමණකැයි පැවසූ රජ තෙමේ වැව් දිය දෝතක් ගෙන පෙන්වීය. විසල් කලා වැව් දිය සිය ධනය යැයි පැවසූ ධාතුසේන රජුට අවසන සිදුවූයේ සිය ලෙයින් ජනිත වූ පුත්‍රයාගේ අණින් මැරුම් කන්නටය. රජු කඩවර දොවොල පෙනෙන මානයේ වැව් බැම්මට තබා හිටුවා පස් ගසා ඝාතනය කළ බව ජනප්‍රවාදයේ කියැවේ. එය සිංහල රාජාවලියේ අනුවේදනීය කතා පුවතකි.
ඉතිහාස කතාවලට සහ සාහිත්‍යමය මූලාශ්‍ර වලට අනුව ධාතුසේන රජ දවස වැව් 18ක් ඉදිකොට ඇත. ඉන් වඩාම අවධානයට ලක්වන්නේ කලා වැවය. කලා ඔය හරස්කොට බැඳ ඇති කලා වැවේ ජලය සැතපුම් 54ක් දුර ගෙවා අනුරාධපුරයේ තිසා වැව දක්වා ගෙනයෑම සඳහා ඉදිකොට ඇති යෝධ ඇළ හෙවත් ජය ගඟ රජුගේ තවත් විශ්මිත නිර්මාණයකි. කලා වැවට යාබදව බළලු වැව පිහිටියද වැව් දෙකක් ලෙස වෙන් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවක් අද එහි නැත. ඒ සඳහා පාදක වන තවත් කරුණක් නම් එකම වැව් බැම්ම වැව් දෙකෙහිම දියවර දරා සිටීමය. එය කිලෝමීටර් හතක දිගින් යුක්තය. මේ වැව් බැම්ම සිහිලැති රුක් ගොමුවකින් අලංකෘතය. මේ සා දිගු බැම්මක් මෙරට කවර හෝ වාපී ඉදිකිරීමක දැකගත නොහැකිය.
බැලූ බැල්මට එහි වැව් දෙකක් ඇති බව වටහා ගැනුමට නොහැකි අතර, වර්තමානයේ වැව් දෙකක් ලෙස නොව එකක් ලෙස සලකා සියලු දත්ත වාර්තාද සැකසී තිබේ. නමුත් ඓතිහාසික මූලාශ්‍රවලට අනුව එකිනෙකට යාබදව වැව් දෙකක් පිහිටි බව කියැවේ. නිදසුනක් ලෙස වර්තමානයේ මහවැලි අධිකාරියේ බලධාරීන් මෙම වැව් දෙකේ ජල ධාරිතාවය දක්වන්නේ එක වැවක් ලෙස සලකමිනි. එය අක්කර අඩි ලක්ෂයක ප්‍රමාණයකි. සමස්ත බිම අක්කර පහළොස්දහසක් පුරා වාපී නිමැවුම විහිද පැතිර පවතී.
කලා වැව් බැම්ම මත පිහිටි මත පිහිටි කඩවර දේවාලයද නිතර අවිවේකී තැනකි. එහෙත් අද එහිද ඇත්තේ හුදකලා බවකි. පසෙක ධාතුසේන රජුද නිසොල්මන්ව සිටිනුයේ සොබාදහම පාපී මිනිසුන් සමග උරණව ඇති අන්දම උපේක්ෂාසහගත දෙනෙතින් දකිමිනි.
බුල්නෑව ප්‍රදීප් රණතුංග