උඩවලව ජලාශයේ ජලමට්ටම සියයට 1.8යි


වසර විස්සකට පසුව වලව කලාපයට  ඇතිවූ දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (03දා) සවස පැවසීය.

උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවී ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමාන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දෙන බව  අවධාරණය කළේය.

‘&උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත්. මේ වනවිට   ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුණොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.*

‘&පානීය ජලය සම්බන්‍ධයෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුලුවන්. ඇඹිලිපිටය ප්‍රදේශයට චන්‍ද්‍රිකා වැව ආශ්‍රිතව පානීය ජලය සපයනවා. චන්‍ද්‍රිකාවැවේ ජල මට්ටමත් දැන් සීග්‍රයෙන් අඩුවෙනවා. වගාවට ජලය සැපයීමේ දී සහ පානීය ජලය භාවිතයේ දී අරපරිස්සම් නොවුණොත් ලොකු ගැටලුවක් ඇති වේවි. උඩවලව ජලාශයට ජලය සැපයිමට වලවේ ගඟ හැර වෙනත් ජල ප්‍රභවයක් නෑ. දැන්නම් වැසි ප්‍රාර්ථනාව හැර විකල්පයක් නෑ. මිනිස්සුන් වගේම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුනුත් තව දවස් දෙකකින් දැඩි පීඩාවකට පත්වේවි.’

 උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා  අවධාරණය කළේය.

උඩවලව ජලාශයේ ජලය බලාපොරොත්තුවෙන් වලව මහවැලි කලාපයේ හෙක්ටයාර 12644ක වී වගාකර ඇත.  හෙක්ටයාර් 3500ක උක්වාගවට ජලය නිකුත් කරන්නේ ද උඩවලව ජලාශයෙනි. රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික් තුනේ කොටසකට මෙසේ ජලය සැපයේ. වලව මහවැලි කලාපයේ වී, එළවළු සහ වෙනත් භෝග වගාබිම් හෙක්ටයාර් 25300ක් සහ පුද්ගලයන් 278000ක්  පානීය ජල ගැටලුවකට ලක්වීමේ දරුණු අනතුරක් මේ වනවිට පවතී.

\අජිත්ලාල් ශාන්තඋදය/ කොලොන්න -ජේ. නානායක්කාර

 



Recommended Articles