මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (15දා) අලුයම සිට ස්වයංක්‍රියව විවෘත වී තිබුණි.
එම වාන් දොරටු විවෘත වීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යෑම නිසා සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේද ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු දොරටුද ස්වයංක්‍රියව විවෘත වන බැවින් ඉහළ කොත්මල ජලාශ වේල්ලට පහළින් ගඟ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් වෙමින් සිටින ලෙස විදුලි බලාගාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.
ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු තුනක් අද (15දා) අලුයම සිට විවෘත කිරීම හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර,පවතින අධික වර්ෂාවත් සමගම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ දුම්රිය හරස් මාර්ගයට යාබදව ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මං තීරුවකට සීමා කර තිබේ.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේද ගමනාගමන කටයුතු එක් මංතීරුවකට සීමා කර තිබේ.
හැටන් වැලිඔය අග්‍රඔය ප්‍රදේශයේ පහත් බිම් රැසක් පවතින වර්ෂාවත් සමග යට වී ඇති අතර, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටම පැමිණ ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. ප්‍රදේශයේ අධික වර්ෂාවත් සමග සුළං තත්ත්වයක්ද පවතින අතර, දැඩි සුළං තත්ත්වයත් සමග ප්‍රදේශයේ විදුලියද වරින් වර ඇනහිටින බව ඔවුන් පවසයි.