ඉදිකිරීම් නිසා වාසස්ථාන වෙනස් වුවහොත් එය සංචාරක පක්ෂීන්ට බලපානවා


සංචාරක පක්ෂීන්ගේ නිජබිමක් ලෙස දුර අතීතයේ සිටම ලංකාව හැඳින්විය හැක. විශේෂයෙන් සෘතු වෙනස්වීම්වලදී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් අතිවිශාලය. එමෙන්ම ලංකාව යනු සංචාරක පක්ෂීන් අවසානයට පැමිණ නතර වන රටකි. ඔවුන්ගේ පැමිණීම තුළින් අපේ පරිසර පද්ධතියට විශාල සේවයක් මෙන්ම වැදගත්කමක් ලැබේ. මැයි 08වන දින ‘ලෝක සංචාරක පක්ෂීන්ගේ දිනයයි’. එබැවින් ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් පිළිබඳව සහ ඔවුන්ට ලංකාව තුළ ඇතිවන ගැටලු, තර්ජන පිළිබඳව සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතාව අපි %‘අද’ට සම්බන්ධ කර ගතිමු.

සංක්‍රමණික පක්ෂීන් වසරකට කොපමණ ප්‍රමාණයක් ලංකාවට එනවාද?

ඒක සංඛ්‍යාත්මක වශයෙන් කියන්න බැහැ. විශේෂ වශයෙන් ගතහොත් සාමාන්‍යයෙන් නිතිපතා පැමිණෙන සංචාරක පක්ෂීන් විශේෂ සියයකට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ලංකාවට එන සංචාරක පක්ෂීන්ගෙන් රෝස මුහුදු ලිහිණියා හැරෙන්න අනෙක් සෑම පක්ෂියෙකුම වාගේ එන්නේ සීත සෘතුවට. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී වගේ. සමහර පක්ෂීන් අගෝස්තු මාසයේදීත් පැමිණෙනවා. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්වල ඉඳලා මාර්තු, අප්‍රේල් මාසවලදී නික්මිලා යනවා. එම සංචාරක පක්ෂීන් මෙරටට ආවට පස්සේ කූඩු හදාගෙන ජීවත් වෙන්නේ රෝස මුහුදු ලිහිණියා පමණයි. රෝස මුහුදු ලිහිණියාත් මුහුදේ තිබෙන ගල්පරවල තමයි කූඩු හදන්නේ. නමුත් අනිත් කිසිම පක්ෂියෙක් කූඩු හදනවා වාර්තා වෙලා නැහැ. පක්ෂීන් තමන්ගේ බිත්තර දමන ප්‍රදේශවල ඇතිවෙන කාලගුණික විපර්යාසයන්ට සිදුකරන ප්‍රතිචාරයක් විදිහට තමයි තවත් ප්‍රදේශයකට, රටකට සංචාරය කරන්නේ. සාමාන්‍යයෙන් සංචාරක පක්ෂියෙකුගේ නිජබිම ලෙස සලකන්නේ බෝවන ස්ථානයනේ.

ලෝකයේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති හෝ දුර්ලභ ගහනයක් ඇති සංක්‍රමණික පක්ෂීන් ලංකාවෙන් වාර්තා වෙනවාද?

ඔව්. එවැනි පක්ෂීන් ගොඩක් ඉන්නවා. ඉතාම දුර්ලභ ගණයේ අය සහ ලෝකයේම අඩු ගහනයක් සිටින පක්ෂීන් විටින් විට ලංකාවෙන් වාර්තා වුණා. දුර්ලභව වඳවෙන පක්ෂීන් වගේම සුලභ අයත් ඉන්නවා. ‘Spoon - billed sandpiper’කෙනෙක් ලංකාවේදී එක සැරයක් හමු වුණා. එයා ලෝකයේ වඳ වෙමින් සිටින සංචාරක පක්ෂියෙක්. එතකොට ලංකාවේදී හමුවුණ ‘Sociable lapwing’පක්ෂියාත් වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින පක්ෂියෙක්. මේ අතර සමහර පක්ෂීන් වාරයක් දෙවාරයක් වාර්තා වුණු අයත් ඉන්නවා. අපි ඔවුන්ව හඳුන්වන්නේ ‘අහඹු සංක්‍රමණිකයෝ’ කියලා. ඒ වගේම නිතිපතා එන දුර්ලභ අයත් ඉන්නවා.

සෑම වසරකදීම සංක්‍රමණික පක්ෂීන්ගේ නව විශේෂයන් හමුවනවාද?

අලුතෙන් එන විශේෂ ඉන්නවා. පසුගිය කාලය පුරාවටම වසරකට නව විශේෂ එක් අයෙක් හෝ කිහිපයක් වාර්තා වෙනවා. උදාහරණයක් ලෙස 2020 – 2021 කාලයේදී ‘black ibis’ කියන පක්ෂියා ලංකාවෙන් පළමු වතාවට මන්නාරම ප්‍රදේශයේදී වාර්තා වුණා.

අපේ රටේ විටින් විට සිදුවන පාරිසරික විනාශයන් ඔවුන්ට ලංකාවේ ජීවත් වීම තර්ජනයක් වී තිබෙනවාද?

ඔව්. ඒක මෙහෙම කියමුකෝ. නිරන්තරයෙන් පැමිණෙන පක්ෂීන්ට පාරිසරික විනාශයක්, තර්ජනයක් හෝ වාසස්ථානයේ වෙනස්කමක් සිදු වී ඇත්නම් ඒක දැනෙනවා. එතකොට ඔවුන් ඒ පරිසර පද්ධතිය අත්හැර වෙනත් පැත්තකට යනවා. ඊට හොඳම උදාහරණය තමයි කෝට්ටේ අභයභූමියේ බැද්දගාන කියන ප්‍රදේශයේ ඉස්සර සයිබීරියානු ප්‍රදේශයේ ඉඳලා නිතිපතා එන %‘රන් ඔලෙයියා’ කියන පක්ෂීන් හිටියා. ඔවුන් දාහක විතර රංචුවක් හැම අවුරුද්දකම වගේ ආවා. නමුත් 2014 වර්ෂයේදී එතැන පරිසරයට පස් පුරවලා ගස් සිටුවන්න පටන් ගත්තා. එදා ඉඳලා අද වෙනකල් ඒ කුරුලු විශේෂය බැද්දගානට ඇවිත් නැහැ. මොකද ඔවුන්ට ඒ පරිසර පද්ධතිය නැති වුණාම ඉන්න බැහැ. ඔවුන් ගියේ කොහේටද කියලා දන්නෙත් නැහැ. ‘%වැලි ඔලෙයියා’ කියලා පක්ෂියෙකුත් බැද්දගානට ආවා. ඔවුනුත් පන්සියයක්, හයසියයක් විතර රංචුවක් ආවා. ඒ පක්ෂීනුත් දැන් එන්නෙ නැහැ.

ඒ වගේම විවිධ ඉදිකිරීම් නිසා පරිසර තත්ත්වයන් වෙනස් වෙනවානේ. ඒක ලෝකය පුරාම ඉන්න ලංකාවට එන සංක්‍රමණික පක්ෂීන්ට ඇති වී තිබෙන විශාල ප්‍රශ්නයක්. ලංකාව කියන්නේ ලෝකය පුරාම ඉන්න සංචාරක පක්ෂීන් අවසානයේ පැමිණ නවතින තැනක්නේ. යන අතරමග නවතින තැන් වගේ නොවෙයි. එතකොට යම් ඉදිකිරීමක් නිසා අපේ රටේ තත්ත්වය වෙනස් වුවහොත් ඒක ඔවුන්ට හුඟක් නරකට බලපානවා. රැම්සා පරිසර පද්ධතිය තියෙන්නේ අපේ තෙත්බිම් ආශ්‍රිතව ජීවත් වන ජලචර පක්ෂීන්ගේ ආරක්ෂාවටයි. අපේ තෙත්බිම්වල සිටින ජලචර පක්ෂීන්ගෙන් සෑහෙන පිරිසක් ඉන්නවා සංක්‍රමණිකයෝ. එතකොට අපි තෙත්බිම් පරිසර පද්ධතියක් විනාශ කළාම හෝ වෙනස් කළාම ඒ පක්ෂීන්ගේ වාසස්ථාන අහිමි වෙනවා. ඒක විශාල ගැටලුවක්.

සංක්‍රමණික කුරුල්ලන්ගෙන් ලංකාවේ පරිසර පද්ධතියට සිදුවන සේවාවන් මොනවාද?

සංචාරක පක්ෂීන්ගෙන් ලංකාවේ පරිසර කලාපවලට සිදුවන සේවාවන් අතිවිශාලයි. කාටවත් ඒ මෙච්චරයි කියලා ගණන් හදන්න බැහැ. මොවුන් ලෝකය පුරා විසිරී සිටින පක්ෂීන්නේ. ඉතින් ඔවුන්ගේ වසුරුවලින් පොහොර නිර්මාණය වනවා. සමහර පක්ෂීන් කුඹුරු මඩ කළාම ඒ තුළින් මතුවන කුඩා කුඩා පළිබෝධකයෝ ආහාරයට ගන්නවා. විශේෂයෙන් අපි‘ නිල් කුරුමිණි කුරුල්ලා’ කියන පක්ෂියා වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ගොයම් පළිබෝධකයෝ. එයාලා ගොඩක් වෙලාවට එන්නේ ඒ වෙනුවෙන්. ඔවුන් පරිසර පද්ධතියට කරන සේවය කාටවත් තක්සේරු කරන්න බැහැ.

ලංකාව තුළ සංක්‍රමණික පක්ෂීන්ගේ ආරක්ෂාව කෙසේද?

ලංකාවට එන සෑම සංචාරක පක්ෂිකයෙකුම ලංකාවේ මුහුදට ඇතුළු වුණු පමණින් අපේ නීතියෙන් ආරක්ෂා වනවා. එම කිසිදු පක්ෂියෙකු දඩයම් කිරීම තහනම්. ලංකාව තුළ සංචාරක පක්ෂීන් දඩයම ලොකුවට වෙලා නැහැ. හොරෙන් හොරෙන් දඩයම් කරන අවස්ථා ඇති. නමුත් මහා පරිමාණයෙන් සිදුවෙලා නැහැ. සමහර රටවල සංචාරක පක්ෂීන් දඩයම් කිරීම මහා පරිමාණයෙන් සිදුවනවා. උදාහරණයක් විදිහට පසුගිය සතියේ ඉතාලියෙන් අවසරයක් ලබාදීලා තිබුණා වඳ වීමේ තර්ජනයට ලක්වෙලා ඉන්න European turtle dove කියන කොබෙයි වර්ගය දඩයම් කිරීම සඳහා. එහිදී ඒ කොබෙයි විශේෂයේ මුළු යුරෝපයේම ජීවත් වන වැඩිහිටියෝ විශාල ප්‍රමාණයක් මිය යාමට නියමිතයි. එහෙම ගැටලු අපේ රටේ කිසි දවසක සිදුවෙලා නැහැ. අපේ රට සංක්‍රමණික සතුන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රඥප්තියේ අත්සන් කළ රටක්. ඒ ප්‍රඥප්තිය අපෙන් බලාපොරොත්තු වෙන යුතුකම සහ වගකීමට වඩා අපි ගොඩක් දුර ගිහින්. අපි අපේ සියලුම සංක්‍රමණික සතුන්ව (පක්ෂීන් ඇතුළුව) හොඳින් ආරක්ෂා කරලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ තිබෙන වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 31වන වගන්තිය අනුව අලුතෙන් පක්ෂියෙක් (ලංකාවේ මෙතෙක් වාර්තා නොවුණු කුරුල්ලෙක්) ලංකාවට පළමුවරට ආවොත් ලංකාව ඇතුළේ ඉන්නකල් එයා ආරක්ෂා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට පහුගිය කාලේ මන්නාරම ප්‍රදේශයේදී අපි දැක්කා මීට පෙර කවදාවත් දැකලා නැති black ibis කියන පක්ෂියාව. black ibis ලංකාවට ආවට පස්සේ එයා අපේ රටේ ඉන්න කාලය තුළ ආරක්ෂිතව හිටියා.

සංක්‍රමණික පක්ෂීන් ලංකාවේ සිටින අනෙක් පක්ෂීන් සමග කුමන ආකාරයේ සබඳතාවන් පවත්වනවාද?

ඔවුනොවුන් අතර අන්තර් ක්‍රියා සිදුවනවා. සංක්‍රමණික පක්ෂීන් අපේ රටේ සිටින විට හෝ වෙනත් රටකට ගියාම එම රටෙහි සිටින පක්ෂීන් සමග සිදුකරන අන්තර් ක්‍රියා විවිධාකාරයි. ඒ හැමවිටම සුබදායී අන්තර් ක්‍රියා දකින්න ලැබෙන්නේ නැහැ. සමහරු ආක්‍රමණශීලී ආකාරයෙන් කටයුතු කරනවා. සමහර අය ඔවුන්ට නතු ප්‍රදේශ වෙන් කරගෙන අපේ අයගෙන් ටිකක් ඈතට වෙලා ඉන්නවා. සමහර වෙලාවට අපේ අය ඔවුන්ව එළවනවා. ඒක එම කුරුලු විශේෂ විශේෂ අතර ඇතිවෙන ගැටලුවක්. හැබැයි එයින් ඔවුන්ට ලොකු අගතියක් සිදුවෙන්නේ නැහැ. ලංකාවේ සිටින පක්ෂීන් සහ සංක්‍රමණිකයන් මගින් දෙමුහුම් ජීවීන් බිහිවීමක් වාර්තා වෙලා නැහැ. ලෝකයේ දෙමුහුම් පක්ෂීන් පිළිබඳව වාර්තා වෙනවා. ඒවා අපට එතරම් අදාළ නැහැ. ලංකාවේදී බොහෝවිට කෑමට ඇති තරගයක්, වාසස්ථානය අතර තරගයක් වගේ දේවල් තමයි විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ.

 



Recommended Articles