ඇමතිධුර අත්හැරී මුස්ලිම් මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ හමුවෙති


ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්  අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.

එසේ තනතුරු වලින් ඉවත් වීමට හේතු සාධක ඔවුන් ඉදිරිපත් කළද එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. එම ක්‍රියාව තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.  මොනම අවස්ථාවකදීවත් ජාතිවාදය රටතුළ ඇවිලවීමට කිසිවෙකුටත් නොදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් මෙහිදී ඔවුන් විපක්‍ෂ නායකවරයාට සඳහන් කර තිබේ.

මුස්ලිම් ජනතාව ප්‍රථමයෙන් මුස්ලිම් දේශපාලනඥයින් පිළිබඳව විශ්වාසය ඇති කරගත යුතු බවත් ඉන් පසු අනෙකුත් ජාති ආගම් නියෝජනය කරන ජනතාව  මුස්ලිම් නායකයින් විශ්වාස කිරීමට එළඹෙන බවද එසේ වුවහොත් වර්තමානයේ ඇති වී තිබෙන අනවබෝධකාරී තත්වය සමතයකට පත්කර ගත හැකි බවද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළේය.



Recommended Articles