අනුරාධපුර දුර ගමන් සේවා බස් නැවතුම්පොළෙහි අද (12දා) දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය. දුම්රිය වර්ජනයක් ක්රියාත්මකවූ නිසා අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පැවැති පූජාවක් සඳහා පැමිණි පිරිසට ආපසු යෑමට ප්රමාණවත් බස්රථ නොමැතිවීම හේතුවෙන් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම තත්ත්වය ඇති විය.
මෙම තත්ත්වය මත දිවයිනේ විවිධ ප්රදේශවලින් පැමිණි බැතිමතුන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවට පත් වූ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් ද යොදවා තිබුණි.
ලංකා ගමනා ගමන මණ්ඩලය හා අනුරාධපුර පෞද්ගලික බස් සමාගමක් මගින් අමතර අමතර බස් රථ රැසක් ධාවනයට එක් කර තිබුණද එය ප්රමාණවත් නොවීම හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලම්වල රැඳී සිටීමට මෙහිදී මගීන්ට සිදු විය.
අනුරාධපුර දුර ගමන් සේවා බස් නැවතුම්පොළෙන් හා පැරණි බස් නැවතුම්පොළෙන් පිටත් වන දුර ගමන් බස් රථ වලට මගීන් නංවා ගැනීමේදී නිසි වැඩපිළිවෙළක් ක්රියාත්මක නොවීමත්, පෝලිම්වලට පිටින් පැමිණි මගීන් බස් රථ තුළට ගොඩවීමට යාමේදී, ඇතැම් මගීන් ප්රකෝපකාරී ලෙස හැසිරී එය ගුටිබැට හුවමාරු දක්වා වර්ධනය හේතුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථ වාහන ඒකකයේ හා හදිසි ඇමතුම් (119) ඒකකයේ නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන ලදී.
දුම්රිය වර්ජනයක් පැවතිය ද, විවිධ පූජාවන් පැවැත්වෙන දිනයන්හිදී අමතර බස් රථ වලින් බැතිමතුන් අනුරාධපුරයට රැගෙනවිත් පූජාව අවසන් වීමටත් පෙර, එම බස්රථ පිටත්ව යෑම නිසා මෙසේ මගී තදබදය ඇතිවීමට ප්රධාන හේතුවක් වී ඇති බවද, උසස් ප්රවාහන නිලධාරියෙක් මෙහිදී පැවසීය.
යාපනය, වව්නියාව හා මන්නාරම සිට දුර පළාත්වලට බස් රථ විශාල ප්රමාණයක් දිනපතා මිහින්තලය නගරය හරහා ප්රමාණවත් මගීන් නොමැතිව ගමන් කරන බව පෙන්වාදෙන අනුරාධපුර නගරවැසියෝ මෙසේ මගී තදබදයක් ඇතිවන දිනවලදී පමණක් හෝ එම බස්රථ වලට අනුරාධපුර නගරය හරහා ගමන් කිරීමට අවසර ලබාදීම මගින් මෙම ගැටලුකාරී තත්ත්වය මගහරවා ගැනීමට හැකි බවද වැඩිදුරටත් පෙන්වා දෙති.
අනුරාධපුර - බී.ජී. චතුරංග