අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමිව දිවයිනේ වෙරළ තිරයන් පිරිසුදු කෙරේ


අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

මේ අනුව රට වටා පිහිටි කිලෝමීටර් 1,700 ක දිගින් යුත් වෙරළ තීරයක් පිරිසිදු කෙරේ.

පසුගිය 19 වැනිදා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයෙන් ආරම්භ කෙරුණු මෙම වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන මෙම සතිය පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීම විශේෂත්වයකි.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වාගේම උතුරු, නැගෙනහිර පළාත්වල වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පරිසරවේදීන්, පාසල් දරුවන්, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ නිලධාරීහු විශාල වශයෙන් පැමිණ සිටියහ.

යාපනය පුන්කුඩුතිව් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන අද (22) දින යාපනය වෙරළ තීරයේ පැවැත්වුණි.

පෘථිවි පෘෂ්ඨයෙන් 70% ක් ආවරණය කරන්නේ මහා සාගරයයි. ලෝකයේ බොහෝමයක් පාරිසරික දේශගුණික ලක්ෂණ රඳා පවතිනුයේ මෙම සාගර ජලයේ සිදුවන ක්‍රියාකාරකම් මඟිනි. මේ නිසා බොහෝ ගොඩබිම් ක්‍රියාවලින් යාමනය කිරීමේ භාරදූර කාර්යයේ ප්‍රධාන කොටස්කරුවා වන්නේ මහා සාගරයයි.

ගෝලීය ජල සැපයුමෙන් 97% ක ඉහළ දායකත්වය සාගර ජලයයි. ඉතිරි 3% අයිස් කඳු, ග්ලැසියර, ජිවින් තුළ ඟංගා, ඇල දොල, ජලාශ, පාංශු ජලය ආදියේ පවතී. එම නිසා පෘඵීවියේ ජල ගෝලයෙන් 97% ක් දරා සිටිනුයේ මහා සාගරයයි.

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ සහ සාගරය දූෂණයට ලක් වෙමින් පවතී. මේ හේතුවෙන් පාරිසරික සහ සමාජ - ආර්ථික ගැටලු  නිර්මාණය වී ඇත. අප බොහෝ විට ගොඩබිම දුෂණය ගැන කතා කලද, සමුද්‍ර දුෂණය ගැන අවධානය යොමු කරන්නේ අල්ප වශයෙනි. නමුත් ගොඩබිම දුෂණයේ අවසන් ප්‍රතිඵලය සමුද්‍ර පරිසරය දුෂණය වීමය.

සමුද්‍ර පරිසර දුෂණයට 90% ක් පමණ බලපාන්නේ ගොඩබිම ආශ්‍රිත දුෂිත ප්‍රභවයි. ගොඩබිම ක්‍රියාකාරකම් මඟින් නිපදවන අපද්‍රව්‍ය සෘජුවම හෝ වක්‍රාකාරව සමුද්‍ර පරිසරයට එකතු විය හැක. ගොඩබිම නිපදවන අපද්‍රව්‍ය කෙළින්ම වෙරළට හෝ සමුද්‍ර ජලයට මුදාහැරීමෙන් සමුද්‍ර පරිසර දුෂණය සෘජුවම සිදුවන අතර ගොඩබිම නිපදවෙන අපද්‍රව්‍ය ගංඟා වැනි ජල මාර්ග ඔස්සේ පැමිණ සමුද්‍රයට නිදහස් වීමෙන් වක්‍රාකාරව සමුද්‍ර පරිසරය දුෂණය වීම සිදුවේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණය වැළැක්වීම, අවම කිරීම සහ පාලනය 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මඟින් ස්ථාපිත කර ඇති ආයතනයයි. වර්තමානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා විවිධ කාර්යයන් සහ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

 ඒ අනුව 2020 වර්ෂයේ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සැප්තැම්බර් මස 19 වනදා සිට 25 වනදා දක්වා යෙදී ඇත. මෙම සතිය සැමරීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබයි.



Recommended Articles