ශ්‍රී ලංකාවට ආවේණික අධිසංරක්ෂිත සතුන් ,හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩු වල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද 10 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි .
සැකකාර ව්‍යාපාරිකයා සමඟ සැළලිහිණියන් දෙදෙනෙක්,ඉබ්බෙක් හා විවිධ රටවලට අයත් ගිරව් විශේෂ හා පක්ෂීන් 24 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.
මඩපාත ව්‍යාපාරිකයෙකු පදිංචි දෙමහල් නිවසක ඉදිරිපස කොටසේ විවිධ ප්‍රමාණයේ කූඩුවල පක්ෂීන් විශාල පිරිසක් රඳවාගෙන සිටින බවට කොට්ඨාස බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි .
නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා කොන්ත්‍රාත් පදනම මත නිවෙස් ඉදි කරන්නෙක් බවත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විනෝදාංශය සඳහා පක්ෂීන් ඇතිදැඩි කළ බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය .
බලපත්‍ර නොමැතිව විදේශ රටවලින්වි ආනයනය කරන ලද එම පක්ෂීන් පිළිබද විමසීමේදී එම සතුන් මිතුරන්ගෙන් ලද පක්ෂීන් සහ වෙනත් පුද්ගලයන්ගේ මිලදී ගත් පක්ෂීන් බවට වැඩිදුරටත් අනාවරණය කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අදාල සතුන් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව වනසත්ව අඩවි සහකාර ඉන්දික ලක්සිරි මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළහ .
මෙම පක්ෂීන් ශ්‍රී ලංකාවේ වාසය කරන සත්ව විශේෂයක් නොවන නිසා එම සතුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට දෙහිවල සත්වෝද්‍යානය අධ්යක්ෂවරයාගෙන් විශේෂඥ වාර්තාවක් කැඳවීම සඳහා වනසත්ව අඩවි සහකාරවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ප්‍රකාරව විදේශ රටවලින් සතුන් ආනයනය කිරීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන සයිටීස් බලපත්‍රය අනිවාර්ය බව ද ,එම සතුන් ළඟ තබා ගැනීමේදී එම බලපත්‍රය හිමි පුද්ගලයා නිකුත් කරන ලද බිල්පතක් තිබිය යුතු බවත් වනසත්ව අඩවි සහකාරවරයා පවසා ඇත
තවද එහි සිටි ඉබ්බා දැඩි ලෙස ආරක්ෂිත උරගයෙක් වන අතර සැළලිහිණි යන් දෙදෙනා ද ශ්‍රී ලංකාවට ආවේණික අධි සංරක්ෂිත පක්ෂීන් දෙදෙනකු බවද වනසත්ව අඩවි සහකාරවරයා වැඩිදුරටත් පැවසූ බවපොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්ෂීන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ලබාදෙන නියෝගයක් අනුව කටයුතු කරන බව පොලිසිය කියයි .
බිමල් ශ්‍යාමන්