අඩු ආදායම්ලාභීන්ට දෙන්න ගෙනා ලක්ෂ 24ක වියළි ආහාර විනාශ වෙමින්


අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.

ජනතාවට බෙදා නොදීම හේතුවෙන් ප්‍රාදේශීය සභාව විසින් මිලට ගන්නා ලද පොල්, ලොකු ළුණූ, සුදු ළුණූ ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය රැසක් මේ වනවිට නරක්වී විනාශවී යාමේ අවධානමට ලක්ව ඇති බවත්, පවතින ඇදිරි නීතිය හමුවේ කිසිඳු  ආදායමක් නොමැතිව දැඩි දුෂ්කරතාවයට ලක්ව සිටින තමන්ට කඩිනමින් එම ආහාර ද්‍රව්‍ය බෙදා දෙන ලෙස නුවරඑළිය වැසියෝ ප්‍රාදේශීය සභාවේ බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිති.

තවදුරටත් මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය මෙසේ ගබඩාවේ අනාරක්ෂිත අයුරින් ගබඩා  කොට තිබීමෙන් ඒවා සම්පුර්ණයෙන්ම නරක් වී, ගුල්ලන් ආදි සතුන් බෝවී විනාශ වී  යාමට ඉඩ ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය නුවරඑළිය ප්‍රා‍දේශීය සභාව විසින් මිලදී ගෙන අද (12) වනවිට දින 19 ක් පමණ ගතව තිබේ.

මේ පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජන් මහතාගෙන් කරන ලද විමිසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

“රටේ පවතින මෙම අර්බුධකාරි තත්ත්වය හේතුවෙන් වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාව විශාල පිරිසක් මාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අසරණව සිටිනවා.

ප්‍රාදේශීය සභාවේ විශේෂ රැස්වීමක් කදවා අනුමැතිය ලබාගෙන ඔවුන්ට බෙදාදීමට ප්‍රාදේශීය සභාවට ලැබී ඇති බදු මුදලින්  රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමින් යුතු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් මිලදී ගත්තා. එහෙත් ඒවා ජනතාවට බෙදාදීමට සියළුම කටයුතු අවසන් කොට තිබියදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් නියෝගයක් කොට තිබෙනවා එම භාණ්ඩ ජනතාවට නොමිලේ ලබා නොදී මුදලට ලබා දෙන ලෙස. දුප්පත් ජනතාව අතේ මේ අවස්ථාවේ මුදල් නැහැ.

ඔවුන් දැඩි ලෙස අසරණවයි ඉන්නේ. ඒ තත්ත්වය මත එම වියළි ආහාර ද්‍රව්‍ය තොගය බෙදාදීමට නොහැකිව ගබඩා කොට තිබෙනවා. ඒවායේ සමහර භාණ්ඩ මේ වනවිට නරක් වී යමින් පවනිනවා.

මේ ආකාරයටම අනුරාධපුරේ හා මිහින්තලේ ආදි ප්‍රාදේශීය සභාවලින් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා. මෙසේ ආහාර ද්‍රව්‍ය ගොඩ ගසාගෙන සිටීමෙන් ඒවා විනාශ යාමට ඉඩ ඇති බැවින්, මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස් කර දෙන මෙන්  මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගෙන්  ඉල්ලා සිටිනවා” යයි පැවැසීය.

ශාන් හුලංනුගේ

 



Recommended Articles