අකිලට නීතිය නැත්ද?


විශ්‍රාමිකයන් ඊයේ (09දා) පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවක් හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණි. ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ දිනයක් හෙයින් ඇතිවූ වාහන තදබදය හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත මන්ත්‍රිවරු අපහසුතාවට පත්ව තිබුණි.

මේ අතර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද විය. අවසානයේදී ඔහු පාර්ලිමේන්තුවට යෑම සඳහා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් නවත්වාගෙන එයින් ගමන් කරන්නට විය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී ඇතැම්විට හිස් ආවරණයක් (හෙල්මටයක්) සොයාගැනීමට නොහැකි වූ නිසාදෝ අමාත්‍යවරයා යතුරුපැදියේ ගමන් ගත්තේ හිස්වැස්මක් නොමැතිවය.

හිස්වැස්මක් නොමැතිව යතුරු පැදියක ගමන් කිරිම වරදක් වන අතර ඒ සඳහා දඬය රුපියල් 1000කි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් හුවමාරුවන අතර ඔවුන් විමසා සිටින්නේ අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක නොවන්නේද යන්නයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට එම දඬ පැනවීමට නම් පොලීසිය විසින් ඔහුව නවතාලිය යුතු වෙයි. එවැන්නක්ද සිදු වී නොතිබුණ.

යහපාලනයේ ප්‍රමුඛ අංගයක් වන්නේ නීතියේ ආධිපත්‍යයි. එය කාටත් එක සමාන විය යුතුය. අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට යෑමට බලවත් අවශ්‍යතාවක් තිබුණ හෙයින් ඔහු විකල්පයක් තෝරාගත්තද එය භාවිත කිරීම නීතියට අනුගත විය යුතුය යන්න බොහෝ දෙනෙකුගේ අදහසයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ තමන්ට පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ තුනකට පිළිතුරු දීමට තිබූ හෙයින් යතුරුපැදියකින් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

 



Recommended Articles