ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08දා) යෙදී තිබේ. කාන්තාවන් සඳහා සමාජයේ ලබාදෙන අවස්ථාව වැඩි කරන ලෙසට ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් හඬනැගෙන අවස්ථාවක කාන්තාවන් වෙනුවෙන් තම දායකත්වය ඉහළනැංවූ සමාගමක් පිළිබඳව මෙන්ම ලෝකයේ විශාලම ගුවන් යානයක් වන A -380 ගුවන් යානයක් මෙහෙයවන කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව දිග හැරෙන කතාවයි මේ.
ලෝකයේ ගුවන් සේවා අතර ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් සමාගම ජාත්‍යන්තර කාන්තා දිනය ඉලක්ක කර ගනිමින් එළිදැක්වූ වීඩියෝවක් හරහා මෙම කරුණු ජාත්‍යන්තරයට හෙළිවිය. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා අවම හඬක් නැගෙන මැදපෙරදිගින් මෙම කතාව ඇසෙන්නට ලැබීම එහි ඇති විශේෂත්වය තවදුරටත් වැඩි කරන්නක්ද වෙයි.
එමිරේට්ස් සමාගමට අයත් A -380 ගුවන් යානයක පළමු නිලධාරිනියක ලෙස එක්සත් අරාබි එමීර් ජාතිකාවක් වන අලිය අල් මුහායිරි කටයුතු කරන අතර, ඊජිප්තු ජාතික කාන්තාවක් වන නෙවින් ඩාර්විශ් එම සමාගමේ කපිතාන්වරයෙකු ලෙස කටයුතු කරයි.
ඔවුන් දෙදෙනා එක්ව ඩුබායි සිට ඔස්ට්‍රියාවේ වියනා දක්වා සාර්ථකව A -380 ගුවන් යානයක් රැගෙන යන ආකාරය එමිරේට්ස් සමාගම විසින් ජාත්‍යන්තරයට නිකුත් කර තිබේ. කපිතාන් නෙවින් එමිරේට්ස් සමාගමේ A -380 ගුවන් යානයක් මෙහෙයවන ළාබාලම කාන්තා කපිතාන්වරිය වන අතර, අරාබි සම්භවයක් සහිතව A -380 ගුවන් යානයක් මෙහෙයවන පළමු කාන්තාවද වෙයි.
එමිරේට්ස් ගුවන් සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 44%ක් කාන්තාවන් වෙයි. සංඛ්‍යාත්මක ගත් විට එම අගය 29,000ක් පමණ වන අතර, ඔවුන් රටවල් 150ක් නියෝජනය කරයි. එම 29,000න් 18,000ක් පමණ ගුවන් යානයේ ඇතුළත කාර්ය මණ්ඩලය නියෝජනය කරයි. සෙසු පිරිස සමාගමේ කළමනාකරණ, ඉංජිනේරු, කාර්මික ඇතුළු එහි විවිධ අංශයන්හී සේවය කරති.
එසේම ආසන්න කාලසීමාවේදී කාන්තා දායකත්වය 6%කින් ඉහළ නැංවීමටත් සමාගම තීරණයකර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන එමිරේට්ස් සමාගමේ විධායක උප සභාපති අබ්දුල්ලාසිස් අල් අලි පවසන්නේ කාන්තාවන් හා පිරිමින් සඳහා තම සමාගමෙන් සමාන දායකත්වයක් ලබා දී ඇති බවයි.