ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකික අනුර බණ්ඩාර හේරත් මහතා මුදවාගෙන කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව සමත්වී තිබේ.
මේ පිළිබඳව අද වෙබ් අඩවිය කරුණු වාර්තා කළ අතර ඒ සඳහා ජනපති ලේකම් කාර්යාලය, නාවික හමුදාව ඇතුළු බොහෝ පිරිසකගේ අවධානය යොමුවිය.
ඒ අනුව ඔහු මුදවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී. ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත සිදුවිය.
2020 ජනවාරි මස 05 වන දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගින් සහ කාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකය පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමිමට කටයුතු කරන ලද අතර, පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් විමට ගමන් ආරම්භ කර ඇත.
නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එහි රාජකාරි සිදු කරනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත ඔහුව ගොඩ බිමට රැගෙන ඒම සඳහා අද (2020 අප්‍රේල් 06) අළුයම් කාලයේදී කොළඹ වරායට මුහුදු සැතපුම් 4.4 ක පමණ (කිලෝමීටර 09 කට) ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලගා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම ශ්‍රී ලාංකිකයා ආරක්ෂිතව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරන ලදි.
තවද මීට අමතරව මෙම මගී නෞකාවේ හෘදයාබාධයකින් පෙළුනු වයස අවුරුදු 75ක් වන ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි.
පසුව කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් වලට අනුව සියළු සෞඛ්යාරක්ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා සහ රෝගී කාන්තාව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා පමණක් දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ආරක්ෂිත බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
රෝගී කාන්තාව ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.