කොම්පඤ්ඤවීදීය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152 කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරිණ.
කොළඹ නගරයේ අවිධිමත් ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා විධිමත් නිවාස ලබාදීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
පාකිස්ථානු ආයෝජන සමාගමක් වන Empyreal Builders (PVT) Ltd ආයතනය සමඟ ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස සංකීර්ණයේ පළමු අදියර 2013 වසරේදී ආරම්භ කර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ඉඩම හා එහි තිබුණු නිල නිවාස 28ක් වෙනුවට නව නිල නිවාස 40ක් සාදා නිම කර 2015 වසරේ දී නැවත දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගැණින. ඉන් අනතුරුව මෙම නිවාස ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත.
එම ස්ථානයේ තිබුණූ ඉස්ලාම් පල්ලිය වෙනුවට නව ඉස්ලාම් පල්ලියක්, එහි තිබුණූ ඉස්ලාම් දහම් පාසල වෙනුවට නව ඉස්ලාම් දහම් පාසලක්, ප්‍රජා ශාලාවක් ඉදිකර ඇති අතර සුපිරි වෙළඳසැලක් ආදි පහසුකම්වලින් ද මෙය සමන්විත වේ.
එමෙන්ම මේ මහල් නිවාස සංකීර්ණයේ වර්ග අඩි 400, 600, 800 සහ 1000 කින් යුක්ත නිවාස ඉදිකර ඇති අතර මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 1100 ක් වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු ඇතුළු සියල්ල අධික්ෂණය කරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.
කොළඹ නගරයේ අඩුපහසුකම් ජනාවාසවල ජීවත්වන පවුල් වෙනුවෙන් වර්තමාන ජනාධිපති, එවකට රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිවාස ඒකක 50,000 ක් ඉදිකිරීමේ අරමුණින් මේ ආකාරයේ නිවාස ඒකක ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරිණ.