72 වන යුද හමුදා දිනය සැමරේ


අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී ප්‍රධාන උත්සවය පැවැත්වුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය  විවෘත කර රණවිරු අයිතියට පත් කළේය.

අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිවරයා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා  මුල්ගල තැබීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. කණිෂ්ඨ හා බලලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක්කළ හමුදා රථ ජනාධිපතිවරයා නිරීක්ෂණය කරනු ලැබීය.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපති වෙත සමරු තිළිණයක් පිරිනැමීය.

ආරාධිතයන් සඳහා වූ සමරු සටහන් පොතෙහි අත්සන් තැබූ ජනාධිපති ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



Recommended Articles