භික්ෂු බල මණ්ඩලය විරෝධතාවක


අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (27දා)  පැවැත්වූ උද්ඝෝෂණයේදී විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්රුන්ගේ අනුරූවලට ගිනි තැබූහ.

 පොලීසිය විසින් උද්ඝෝෂණය පැවැත්වූ ස්ථානය පොලිතීන් පටි යොදා  සීමා ලකුණු කිරීමට කටයුතු කළ අතර මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් සඳහන් කළේ පෙළපාළියක් ගමන් නොකරන බවත්,උද්ඝෝෂණය අවසානයේදී පිරිස විසිර යන බවත්ය.

මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස්වලට පොලීසිය ගොස් තොරතුරු රැස්කරමින් සිටින බවත්,අධිකරණ වාරණ නියෝග මගින් සිසු සටන නතර කළ නොහැකි බවද  උන්වහන්සේ පැවසූහ.

මහජනතාවට,වාහනවලට,පොලීසියට බාධාවක් වන අයුරින්  ගමන් කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු රාජ්‍ය ආයතනවලට බාධාවන අයුරින් සාමය කඩවන අයුරින් අද දිනයේදී පෙළපාළි ගමන් කිරීම සහ උද්ඝෝෂණ පැවැත්වීම  තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් නිකුත් කළ අධිකරණ නියෝගයක් මගින් දන්වා තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසුව අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් හා එහි ශිෂ්‍ය  බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසට බලකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පස්වරු 2.00ට පමණ මෙම උද්ඝෝෂණය ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට වන්නට ලෝටස් මාර්ගයේ වාහන ගමනා ගමනය නතර කර මාර්ග බාධක යෙදීමට පොලීසිය විසින් කටයුතු කරන ලදී.

DSC_7131 DSC_7141 DSC_7144 DSC_7147 DSC_7158 DSC_7167 DSC_7185 DSC_7199 DSC_7209 DSC_7238 DSC_7243 DSC_7266 DSC_7278 DSC_7280 DSC_7281

ඡායාරූප-ශමීර රාජපක්ෂ



Recommended Articles