පසුගිය දිනක අප ගාල්ල එස්.ඕ.එස්. ළමා ගම්මානයට ගිය අතර, එහිදී අපට මුලින්ම හමුවූයේ එහි සහකාර ගම්මාන අධ්‍යක්ෂවරයා වූ ලක්සිරි හෙට්ටිගේ මහතාය. ඒ අවස්ථාවේදී එහි සිටි යෞවන යෞවනියන්ගෙන් ඇතැමෙක් ක්‍රීඩාවල නියැළෙමින් සිටියහ. තවත් අය උදෑසන පැවැත්වෙන පන්තියකට සහභාගි වීමට පැමිණෙමින් සිටියහ.“මෙතන කඩේට ගිහින් එන්නම්?” යෞවනයෙක් හෙට්ටිගේ මහතා අසලට පැමිණ ඇසුවේය. “අම්මාට කිව්වද?” ඔහු ඇසුවේය. අප දන්නා තරමින් මෙහි දරුවන්ට මවක හෝ පියෙකු නොමැතිය. එනිසාම අප හෙට්ටිගේ මහතා සමග ඒ ගැන කතා කළෙමු.
“දෙවැනි ලෝක යුද සමයේ 1949 දී මහාචාර්ය හර්මන් මයිනර් මහතාගේ සංකල්පය අනුව තමයි මෙම එස්.ඕ.එස්. ළමා ගම්මාන බිහිවෙන්නේ. මේ වනවිට ලෝකයේ රටවල් 134 ක මෙම සංකල්පය ක්‍රියාත්මක වෙනවා. ලංකාවට මේ සංකල්පය ආවේ 1981 වසරේදී. මෙහි විශේෂත්වය මේ ගම්මානයේ හැම නිවසකම අම්මා කෙනෙක් ඉන්නවා. අම්මට ළමයි අටදෙනෙක් දහදෙනක් ලබා දී පවුලක් ලෙස තමයි ඔවුන් ගම්මානයේ ජීවත් වෙන්නේ. එකම පවුලේ දරුවන් අපි වෙන් කරන්නේ නැහැ. ඔවුන් සියලු දෙනා එකට ජීවත් වෙන්නේ. මෙහි සුවිශේෂී දේ තමයි දරුවන් ගැන හිතන අම්මා කෙනෙක් සිටීම. ඔවුන් තමන්ගෙ පවුලෙන් ඈත්වෙලා මේ දරුවන් ගැන හිතන්න, දරුවන් පෝෂණය කරන්න යොමු වෙනවා. ඇය කරන්නේ ලොකු කැපකිරීමක්. ඇගේ පූර්ණකාලීන ජීවිතයම මේ දරුවන් වෙනුවෙන් තමයි කැප කරලා තියෙන්නේ. ඒ නිසාම ඒ අම්මලා විශ්‍රාම ගත්තාම මේ ආයතනය තුළින්ම රැක බලාගන්න වැඩපිළිවෙළක් තිබෙනවා.”
මේ පිළිබඳ දැනගත් පසු අපි මෙම ආයතනයේ වැඩිම කාලයක් මවක ලෙස කටයුතු කළ කාන්තාව සොයා ගියෙමු. මේ වනවිට විශ්‍රාම ලබා සිටින ඇය මෙම ආයතනයේම ඔවුන් වෙනුවෙන් තනා ඇති නිවසේ තවත් එවැනි මවුවරුන් සමග ජීවත් වන්නීය.
තම ලෙයින් උපන් දරුවාද බරක් කොට සලකා, එසේත් නැත්තම් සමාජ අවමානයක් යැයි සිතා කළු ගඟට විසි කරන, මහමග දමා යන සමහර මවුවරුන් සිටින මේ කාලයේ ඇගේ කතාව සියලු මවුවරුන්ට නැවත සිතන්නට මග කියන්නේය. දරුවන් තම කුසින් බිහි නොකළද මවු සෙනෙහස දෙමින් මෙහි මවුවරු කටයුතු කරති.
ජී.එච්. ගමගේ නම් මෙම කාන්තාවට මේ වනවිට අවුරුදු හැත්තෑ හතරකි. ඇය සිය ජීවන අත්දැකීම් පිළිබඳ පවසමින් අප හා මෙලෙස දොඩමළු වූවාය.
Q අම්මා මෙහේට එන්නේ කොහොමද?
අපේ මහ ගෙවල් තියෙන්නේ අකුරැස්සේ. අකුරැස්සේ ඉඳන් තමයි ඉතිං මෙහෙට ආවේ. අපි ගෙදරනේ හිටියේ. කසාද බඳින වයස පස්සට ගියා. ඒ නිසා මේ ආයතනයට ගන්නවා කියලා පත්තරේ තියෙනවා දැකලා අයදුම් කරන්න හිතුණා. ඒ 1987 වගේ. මට අවුරුදු 37 ක් වගේ ඇති. පස්සේ මම පිළියන්දල එස්.ඕ.එස්. එකේ ඉන්ටවිව් තුනකට සභභාගි වුණා.
ඒ පරීක්ෂණවලින් සමත් වෙලා, මාස තුනක පුහුණුවකින් පසු මට මුලින්ම එස්.ඕ.එස්. ගම්මානය තුළ ළමයින් දෙන්නෙක් හදාගන්න ලැබුණා. පිළියන්දලදි තමයි මම මගේ පුංචි පවුල පටන් ගත්තේ. ඒ වෙද්දි ගාල්ල විලේජ් එක හදනවා. පස්සේ තමයි අපි ගාල්ලට ආවේ.
Q දැන් අම්මා මෙහේ හදාගත්ත පවුලට කලින් අම්මගේ පවුල ගැන කතා කළොත්?
අපේ පවුලේ දහ දෙනෙක්. අයියලා හය දෙනයි, අක්කලා දෙන්නයි, මමයි නංගියි. අපේ තාත්ත ව්‍යාපාරිකයෙක්. ඒ වගේ පරිසරයක් තමයි පුංචි කාලේ අපට තිබුණේ. ඇත්තටම අපි හරි සතුටින් හිටියා. අපට අඩුපාඩු දැනෙන්න දුන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට අපේ අම්මගේ සිහිකල්පනාව අඩුවෙන්න ගත්තා. ඒක අපේ හොඳම වයස.
මට එතකොට අවුරුදු විසි ගාණක්. මුළු පවුලෙම අවධානය යොමුවෙලා තිබුණෙ අම්මගේ ලෙඩේ සනීප කරගන්න ඕන කියන එක. විවාහ වෙන වයස දන්නෙම නැතුව කල් ගියා. මට අවුරුදු තිහක් වෙනකොට අපේ තාත්තා නැති වුණා. තාත්තා නිරෝගීව ඉඳලා හාට් ඇටෑක් එකකින් නැති වුණේ. තාත්තා නැති වෙද්දි තාත්තට අවුරුදු 83 ක් වෙනවා. ඊටපස්සේ අම්මා බලාගන්න ඕන. තාත්ත නැති වෙලා අවුරුදු පහයි අම්මා ජීවත් වුණේ. අම්මත් නැතිවුණා. මම ඒ කාලේ මානසිකව සෑහෙන්න වැටිලා හිටියේ. මං ආසයි පොත් කියවන්න, පත්තර කියවන්න.
මේ අතරෙ තමයි පත්තරේ ඇඩ් එක දකින්නේ. වයසත් එක්ක බලනකොට වෙන රැකියාවකට යන්න හැකියාවක් මට තිබුණෙ නැහැ.
Q ඒ කියන්නේ රැකියාවක් කරන්න ඕන නිසාද මේ වගේ තැනකට එන්නේ?
මං ඒ කාලේ මානසිකව වැටිලා හිටියේ. මුලින්ම රැකියාවක අවශ්‍යතාව තිබුණා. ඒ නිසා ආවට, පස්සේ සේවයක් කියලා හිතුණා. ඊටත් පස්සේ මේ මගේ පවුල කියලා හිතුණා. මගේ පවුල බලාගෙන මම හිටියේ.
Q ප්‍රේම සබඳතාවලට එහෙම යොමු වෙන්න ඉඩක් තිබුණේ නැද්ද?
ආදරයට එහෙම නිදහසක් තිබ්බේ නැහැ. අපේ අම්මා තදබල නීතිත් එක්ක හිටපු කෙනෙක්. ඒ නිසා අපට පිටස්තර අය එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ඉඩක් තිබුණෙ නෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගෙදරටම සීමා වුණ ජීවිතයක් තමයි අපි ගත කළේ. ඉස්කෝලේ ඇරුණ ගමන් ගෙදර එන්න ඕන. රැකියාවක්වත් කරන්න යන්න දුන්නේ නැහැ. ගෙදරම තමයි හිටියේ.
Q ඒ කියන්නේ මුල්ම රැකියාව මේකද?
මුලින්ම රැකියාවක් කියලා හිතාගෙන ආවට, පස්සේ මේක මගේ පවුල වුණා. මම වැඩියෙන්ම මෙතනට ආවේ මානසික මට්ටම හොඳ වෙන්න කියලා. මුලින්ම අපි විසි ගාණක් මෙහිදී පුහුණු වුණා. සැහැල්ලුවෙන් හිටියේ. මං සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්. කිසිම බරක් ඔළුවට ගන්නේ නැහැ. ජීවිතේට ප්‍රශ්න එනවා. ඉවසීමෙන් ඒවට මුහුණදෙන්න ඕන. ප්‍රශ්න ගැනම හිත හිත කලකිරිලා ඉන්නේ නැතුව හොඳින් ජීවත් වෙන්න බලන්න ඕන.
Q ඔබට පෝෂණය කරන්න ලැබෙන්නේ වෙනත් කෙනෙකුගේ දරුවෙක්. මොකද හිතෙන්නේ?
ඇත්තටම ළමයි බරක් කියලා කිසිම අවස්ථාවක මට දැනිලා නැහැ. ඒ දරුවො වෙන කෙනෙකුගේ කියලා කවදාවත් දැනිලත් නැහැ. මුලින්ම එක පවුලෙම අක්කලා, නංගිලා තුන්දෙනෙක් තමයි මට ලැබුණේ. මම ඒ දරුවන්ගේ අම්මා. මම ඔවුන්ව හොඳින් බලාගත්තා. මං ඒ දරුවන්ට ආදරේ කළා. මට හිතුණෙ ඔවුන් මගේ දරුවෝ කියලා. එහෙම ඉන්නකොට පිරිමි ළමයි දෙන්නෙකුත් මට දුන්නා.
Q දැන් ඒ ළමයි ලොකු ඇති?
දැන් ඒ ළමයි කසාද බැඳලා, ඒ ළමයින්ටත් දරුවෝ ඉන්නවා. මහ දඩබ්බර දඟකාර විසේකාරයෝ ටිකක් හිටියා. අවුරුදු 14 වෙනකම් පිරිමි ළමයි ළඟ හැදෙනවානේ. ඒ දඩබ්බරකම් හරි සුන්දරයි. ජීවිතේ රෝස මල් යහනාවක් වගේ නැහැ. කරදර කම්කටොලු තිබුණා. ඒ කරදර කම්කටොලු මැද්දෙන් කිසියම් අධ්‍යාපනයක් ලබාදීලා ළමයි සමාජයේ තැනකට ගෙනා එකට සතුටුයි. සමාජ විරෝධී ළමයි නෙමෙයි, සමාජයේ ඉහළ තනතුරු තානාන්තර තියන අය තමයි ඒ අතර ඉන්නේ. මං බලාගත්ත ලොකුම පුතා දැන් රට ඉන්නේ. අවුරුදු 08 ක් රට ඉන්නේ.
Q ඒ කියන්නේ දැන් ඔබ මිත්තනියක්. මේ වෙද්දි ළමයි කීදෙනෙක් හදා ගත්තද?
මම ළමයි තිස් දෙනෙක් විතර හදාගත්තා. සමහර ළමයි මාව බලන්න එන්නෙ නැහැ. දරු මුණුපුරෝ පහළොවක් විතර ඉන්නවා. සිංහල අවුරුද්ද දවසේ අපේ මහ ගෙදරට (අකුරැස්සේ ඇය හැදී වැඩුණු නිවස) තමයි මගේ එස්.ඕ.එස්. ළමයි එකතු වෙන්නේ. වත්තේ පිටියේ ඉඩ පහසුකම් තියනවා. මමත් අවුරුද්දට ගාල්ලේ ඉන්නේ නෑ. ළමයි මාව බලන්න එනවා.
Q ජීවිතේ ගැන දැන් මොනවද හිතෙන්නේ ?
කසාද බැන්දේ නැති එක හොඳයි කියලා මට නම් හිතෙන්නේ. කසාද බැන්දා නම් අපි එක පවුලකට කොටු වෙලා ඉන්නවනේ. දැන් විසිරුණු පවුල්වල අම්මා මං. මගේ ළමයි ලංකාවේ හොඳ රැකියා කරනවා. මේ ජීවිතේ වැඩියෙන් හොඳයි.
Q වැදූ අම්මා කෙනෙකු නොවී හැදූ අම්මා කෙනෙකු වූ ඔබට සමාජයට කියන්න තියෙන්නේ මොනවද?
ළමයින්ට ඕන ආදරේ. ඒ ආදරේ ළමයින්ට දැනුණොත් ඕන දඩබ්බර ළමයෙක් හොඳ වෙනවා. ආදරේ ළමයි හැඩගස්සනවා. අම්මලා අද ඔෆිස්වලට යනවා. ළමයි ගැන බලන්න වෙලාවක් නැහැ. ඒත් අම්මලාට ළමයා ගැන බලන්න කියලා තමයි මං කියන්නේ.
ජායාරූප - මිහිර බණ්ඩාර