හිටපු නායකයො වගේම මමත් අනාථ වුණා


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් තමා ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කර එයට පිළිතුරු ලබාදීමට ඔක්තෝබර් මාසය දක්වා කාලයක් ගතවන බව දන්වා තිබීම නිසා තමා අනාථ වී ඇතැයි අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා අද (14දා) පැවසීය.

මේ තත්ත්වය තුළ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කාර්යාලයේ නීති අංශයේ අදහස විමසීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පවසා සිටියේය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳ ජාතික සමුළුවෙ අවසාන දිනයට සම්බන්ධවෙමිනි.

"අද උදේ මුද්‍රිත මාධ්‍ය කියෙව්වාම තමයි  දැනගත්තේ මටත්, කැබිනට් ම‍ණ්ඩලයේ සියලු දෙනාටමත් විරුද්ධ තහනම් නියෝගයක් දාලා කියලා. ඒ පෙත්සම මම මාධ්‍යයෙන් විතරයි කියෙව්වේ. නමුත් උසාවියට එන්න කියලා මට දැනුම්දීමත් කරලා නැහැ.  කැබිනට් ඇමතිවරුන්ටත් නැහැ. නීතිපතිතුමාගෙන් මේ ගැන ඇහුවාම කිවුවේ එතුමන්  හරියට මේ ගැන දන්නෑ කියලා.

මගේ ඇඟ බැඳලා තියෙනවද, මගේ ඔලුව බැඳලා තියෙනවාද, නිදහසේ යන්න පුළුවන්ද කියලා දැනගන්න වෙන්නේ ඒක හරියට කියෙව්වාම තමයි.

හිටපු නායකවරු වගේම මමත් දැන් අනාථ වෙලා තියෙනවා. කොහාටද මම යන්නේ. මම මාස ගණනාවක් ඉන්න සිදුවෙලා. එක එක අය ඇවිත් අද උදේ වෙද්දි හුඟක් උපදෙස් දුන්නා. සමහරු කිව්වා උසාවි ගිහින් විනිශ්චයකරුවන් 5 -7 ක් තියෙන කණ්ඩායමකින් අහන්න කියලා. සමහරු කිව්වා නීති ගේන්න කියලා." යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඡායාරූප ඉසුරු පෙරේරා

 

 



Recommended Articles