සෝභිත හිමියෝ අද දැයෙන් සමුගනිති


අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12දා) සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද දහවල් 12.00 වනතුරු කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙන අතර, ආදාහන පෙරහර ප.ව. 1.30 ට ගමන් ආරම්භ කිරීමට නියමිතය. 

ආදාහන පෙරහරේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනා ප.ව. 12.30 ට පෙර කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙන ලෙස ආදාහන කමිටුව දන්වා සිටී. දේහය රැගත් ආදාහන පෙරහර ප.ව. 1.30 ට ශ්‍රී නාගවිහාරය අසලින් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කෝට්ටේ පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට කෝට්ටේ කුලුන හංදිය ඔස්සේ අවතීර්ණ වීමට නියමිතය. ශ්‍රී ජයවර්ධනපුර පාරේ පොල්දූව හංදිය ඔස්සේ පාර්ලිමේන්තු පාරට අවතීර්ණ වී පාර්ලිමේන්තු පිටිය දක්වා පෙරහර ගමන් කිරීමට නියමිතය.

ආදාහන පූජෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමීන් වහන්සේලා 5000 ක් සහභාගි වීමට නියමිත අතර, අනිකුත් සියලුම ආගම් නියෝජනය කරමින් අන්‍යාගමික පූජකවරුන්ද සහභාගි වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලුම මැතිඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ප්‍රමුඛ පළාත් අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදාහන උලෙළට සහභාගී වීමට නියමිතය. තානාපතිවරුන් 48 දෙනෙකුද සහභාගි වන මෙම ආදාහන උලෙළේ රටේ සියලුම ආගම් සඳහා නියෝජනයක් ලබාදීමට කටයුතු කර තිබීමද සුවිශේෂී කරුණකි. 

සෝභිත නායක හිමියන් දැයෙන් සමුගන්නා අද (12දා) දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අද (12දා) දිනය තුළ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසද, නිවෙස් සහ අනිකුත් ආයතනවල කහ කොඩි ඔසවා තබමින් නායක හිමියන්ට ගෞරවය දක්වන ලෙසද රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තවද අද දිනය තුළ සියලුම සුරාසැල්, මස් අලෙවි සැල් සහ කොළඹ දිස්ත්‍රික්කය තුළ චිත්‍රපට ශාලා වසා තබන ලෙස දැනුම් දී තිබේ. එමෙන්ම ජාතික ශෝක දිනයක් වන අද දිනයේ බස්නාහිර පළාතේ සියලුම පිරිවෙන් සඳහා නිවාඩු දිනයක්ද වේ. 

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (11දා) පවසා සිටියේ මාදුළුවාවේ සෝභිත නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන අද දිනයේ කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ අනුව අද දිනයේ පෙ.ව. 11.00 සිට ආදාහන පූජෝත්සවය අවසන් වන තුරු පොල්දූව හංදිය, පාලම් තුන හංදිය, පැලවත්ත හංදිය, කිඹුලාවල හංදිය යන ස්ථානවලින් පාර්ලිමේන්තුව දෙසට වාහන ඇතුළු කිරීම සීමාකර තිබේ. ප.ව. 1.15 සිට කෝට්ටේ විදුලි බලාගාර හංදියේ සිට පිටකෝට්ටේ දෙසටත්, බැද්දගාන හංදියේ සිට පිටකෝට්ටේ දෙසටත් වාහන ගමනාගමන සීමා කර තිබේ. ප.ව. 1.30 සිට 2.00 දක්වා පාගොඩ මාර්ගයේ සිට පිටකෝට්ටේ දෙසට වාහන ගමනාගමනයද, තලවතුගොඩ දෙස සිට මාදිවෙල මාර්ගයේ පිටකෝට්ටේ දෙසට වාහන ගමනාගමනයද සීමා කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම ප.ව. 2.00 සිට ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ග සඳහා එක් මංතීරුවක් වෙන්කර තිබේ. අනෙකුත් මංතීරුව දේහය රැගත් ආදාහන පෙරහර සඳහා වෙන්කර ඇත. මෙම මාර්ග සැලැස්ම ක්‍රියාත්මක වන කාලසීමාව තුළදී කොළඹ සිට මාළඹේ දෙසට ගමන් ගන්නා වාහන සඳහා විකල්ප මාර්ග ලෙස හයිලෙවල් පාර, පන්නිපිටිය, තලවතුගොඩ, හෝකන්දර හරහා මාළඹේ දක්වා මාර්ගය භාවිතා කළ හැකි බවද හෙතෙම පැවසීය. බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ග සඳහා විකල්ප මාර්ගය ලෙස තලංගම පොලීසිය පාර, අග්ගොන හංදියෙන් අවිස්සාවේල්ල පරණ පාරට පිවිස ගොතටුව හරහා කොළොන්නාව, දෙමටගොඩ හරහා කොළඹට පිවිසිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ආදාහන උත්සවයට සහභාගි වන බැතිමතුන් පැමිණෙන සියලුම සැහැල්ලු වාහන පොල්දූව වටරවුමෙන් පාර්ලිමේන්තු පාරට ඇතුළු කිරීම අවශ්‍ය වන අතර, පන්නිපිටිය දෙසින් පැමිණෙන බස් රථ සහ කොබ්බෑකඩුව පාරෙන් ඇතුළු වන බස් රථ ජපන් මිත්‍රත්ව පාරේ ගාල්කරන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.
ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහරේ ගමන් ගන්නා සියලුම බැතිමතුන්ගේ වාහන ගාල් කිරීමට පොල්දූව හංදිය ආසන්නයේ ඇති දියත උයන රථවාහන නැවතුම භාවිතා කළ හැකි බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම අද ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා කාලය තුළදී රාජගිරිය සිට මාළඹේ මාර්ගය, බත්තරමුල්ල සිට පන්නිපිටිය දක්වා මාර්ගය, තලවතුගොඩ සිට පිටකෝට්ටේ හරහා නුගේගොඩ මාර්ගය, ජුබිලි කණුව සිට මහරගම දක්වා මාර්ගය, මාදිවෙල සිට ඇඹුල්දෙණිය දක්වා මාර්ගය, කෝට්ටේ කුලුනු හංදියේ සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය යන මාර්ගවල බරවාහන ගමන් නොකරන ලෙසත්, බරවාහන නවතා නොතබන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් රථවාහන හැසිරවීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 600 ක්, ආරක්ෂක රාජකාරි සහ අනිකුත් රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 650 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 650 ක්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

චාමර සම්පත්/ ඉෂාන් සංජීව/ ඡායාරූප ඉසුරු පෙරේරා/ ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles