අහසේ මේ දිනවල ඇතිවී තිබෙන සංවහන තත්ත්වය හේතුවෙන් සවස් කාලයේදී ඇතිවන වර්ෂාවත් සමග කෙටි කාලයක් තුළ අධික සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අහසේ හටගත් කෙටි වලාකුළු නිසා මෙම සුළං තත්ත්වයන් ඇතිවන බවත්, වර්ෂාව සමග තද සුළං ඇතිවීමට අමතරව අකුණු ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.
කෙටි වලාකුළු තුළින් ඇතිවන සුළං තත්ත්වය පිළිබඳව පෙර දැනුම්දීම් සිදුකළ නොහැකි බවත්, මේ නිසා සවස් කාලයේ ඇතිවන වැසි සමග තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානය යොමුකළ යුතු බවද ඔහු පවසා සිටියේය. මේ පිළිබඳව 'අද' ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ, රට තුළ කෙටි කාලයක් තුළ ඇතිවන සුළං තත්ත්වය සුළි සුළං තත්ත්වයක් නොවන බවයි.
සුළි සුළං තත්ත්වයක් ඇති වෙනවා නම් ඒ පිළිබඳව දින තුනකට පෙර දැනුම්දිය හැකි බවද හෙතෙම පවසා සිටියේය. මේ අතර මීරිගම ප්‍රදේශයට ඊයේ (26දා) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාව, දැඩි සුළං හා අකුණු තත්ත්වය හේතුවෙන් කාන්තාවක මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. මේ හේතුවෙන් නිවාස පනහක් පමණ ප්‍රමාණයකට විවිධ මට්ටමේ හානි සිදු වී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි ඔහු කියා සිටියේය.
මීරිගම කල්එලිය, මල්ලැහැව, ගල්අමුණ, ගනේගොඩ. බොකලගම, පූගොඩ, පල්ලෙවෙල, කාක්කැලේ, බටලීය, හාපිටිගම, කාමරංගාව ආදී ගම්මාන හරහා දැඩි සුළඟක් හමා ගොස් ඇති අතර, ගස් ඇද වැටීම් නිසා මෙම ගම්මානවල විදුලිය ඊයේ රාත්‍රී වනවිටද විසන්ධි වී තිබිණි.
පල්ලෙවෙල හා ගනේගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකකට ගස් කඩාවැටීම නිසා දුම්රිය ගමනාගමනටද තරමක බාධා පැමිණියේය. දුම්රිය සේවක පිරිස් වහා කි‍්‍රයාත්මක වී එම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගත්හ. පොළොන්නරුව සුවසෙත ගම ඇතුළු ගල්ලෑල්ල ප්‍ර‘දේශය හරහා ඊයේ (26දා) පස්වරුවේ හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් තවත් නිවාස රැසකට දැඩි අලාභානි සිදුව තිබේ.
වැස්සත් සමග පැමිණි තද සුළං හේතුවෙන් සුවසෙත ගම්මානයේ නිවාස 20 කට වැඩි ප්‍රමාණයක් අර්ධ හා පූර්ණ හානියට ලක්ව තිබු අයුරු දැකගත හැකිවිය.
ප්‍ර‘දේශයේ ගස්කොළන් කඩා වැටී තිබූ අතර, විදුලි රැහැන්වලටද අලාභානි වී තිබුණි.අප මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂවරයාගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වූ අතර, සුවසෙත ගම්වාසීන් කියා සිටියේ වගකිව යුතු බලධාරීන් ඊයේ පස්වරුව තුළ විනාශය සිදුවූ ස්ථානයට නොපැමිණි බවයි.වර්ෂාව පැවති තවත් ප්‍රදේශ කිහිපයක ගස් කඩා වැටීම් හා සුළං හමායෑම නිසා නිවාස හා දේපොළ හානි පිළිබඳ සිදුවීම් රැසක් වාර්තාවිණි.
ඉන්දික හේවාවිතාරණ/ තුෂාර තෙන්නකෝන්/ මීරිගම-කාන්ති