සිංගප්පූරු - ලංකා සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය


සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පුරු අග‍්‍රාමාත්‍යවරයා සහ එම මහත්මිය ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එමෙන්ම දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කළේය.

01 copy 03 copy 04 copy 06 copy 07 copy 08 copy 10 copy 11 copy 12 copy 13 copy 14 copy 15 copy

 

 



Recommended Articles