සැලකිල්ල ලබන්නට අකැමැති කෙනෙකු නැත්තේය. වැඩි වැඩියෙන් සැලකිලි ලබන්නට අප කවුරුත් කැමැතිය. ඒත් අනුන්ට සැලකිලි දක්වන්නාට කැමැති අය නම් අඩුය. අනුන්ගෙන් ගරු සැලකිලි නම්බු නාම ලැබෙනවා නම් ඒවා ඉහටත් උඩින් පිළිගන්නා අය එමටය. එහෙම නිතර සැලකිලි ලැබෙන අයට සැලකිලි නොලැබුණාම හිතට හරි අමාරුය. ඒ නිසා හැම විටම අනුන්ගෙන් සැලකිලි ලැබීම බලාපොරොත්තු වීම නරක බව තේරුම් ගත්තොත් හොඳය.
සමහරුන් කියන්නේ කාගේ කාගෙත් සැලකිල්ල ලැබෙන්නේ කාසි පනම් හොඳට තියෙන විට කියලාය. කාසි පනම් විතරක් නොව තනතුරු ගරු නම්බු තියෙන තියෙන අයට සැලකිල්ලද වැඩිය. ඒත් මුදල්, වත්කම් තනතුරු නැතිවුණු විට ඒ අයට බල්ලෙකුට තරම්වත් සලකන්නේ නැත කියලා කියනවාය. පොහොසත් ගෙවල්වල සැපට හැදෙන උසස් බල්ලන්ට නම් මිනිස්සුන්ටත් වඩා සැලකිලි ලැබෙනවාය. ඒත් ගමේ නන්නත්තාරේ යන වල් බල්ලන්ට නම් ලැබෙන සැලකිල්ලක් නැත්තේය.
සැලකිල්ල නොලැබෙනවාට කියන්නේ නොසැලකිල්ල කියලාය. මුලින් සැලකිල්ල ලැබුණු කෙනාට පසුව නොසලකන විට සෑහෙන්න හිතේ අමාරුය. දරුවන් බොහෝ වේලාවට දෙමවුපියන්ට සලකන්නේ ඔවුන්ගේ දේපළ ලියවා ගන්නාතුරු පමණය. ඊට පස්සේ සැලකිල්ල නොසැලකිල්ල වෙලා දෙමවුපියන්ට මහලු මඩම් උරුම වෙනවාය.
සැලකිල්ල ගැන බොහෝ දේවල් කියාදෙන්නේ සිඟාලෝවාද සූත්රයෙන්ය. දූ දරුවන් දෙමවුපියන්ට සැලකිය යුතු අන්දම වගේම දෙමවුපියන් දූ දරුවන්ට සැලකිය යුතු අන්දමද එහි මනාව විස්තර කර තිබෙනවාය. එසේම සිසුන් ගුරුවරුන්ට සැලකිය යුතු අන්දම වගේම ගුරුවරුන් සිසුන්ට සැලකිය යුතු හැටිද එහි දැක්වෙනවාය. සේවකයා ස්වාමියාට සැලකිය යුතු හැටි මෙන්ම ආපසු ස්වාමියා සේවකයාට සැලකිය යුතු අන්දමද එහි සඳහන්ය. මේ සූත්‍රය පෙන්වා දෙන්නේ එකිනෙකාට සැලකිල්ල දෙපාර්ශ්වය විසින්ම කළයුතු දෙයක් බවය. එසේ නැතුව එක් පාර්ශ්වයකට නොසලකා ඔවුන්ගෙන් සැලකිල්ල බලාපොරොත්තු වෙතොත් එය නොලැබෙන බවද එයින් සනාථ වෙනවාය. ඒත් අද වනවිට සැලකිය යුත්තන්ට සැලකීම සමාජය විසින් අමතක කරනු ලැබ තියෙනවාය.
මේ සැලකිලි අතර වඩාත් උසස් සැලකිල්ල වන්නේ රෝගීන්ට සැලකිල්ලය. බුදුන් වහන්සේද රෝගීවී සිටි පූතිගත්ථතිස්ස තෙරුන්ට සැලකීමෙන් සැලකිල්ලේ උසස් බව ආදර්ශයෙන් පෙන්වාදී ඇත්තේය. ඒත් අද සමාජයේ රෝගීන්ට හා වයසක අයට සැලකිල්ල දැක්වීම අඩුවෙලා තියෙනවාය. රජයේ සමහර රෝහල්වලද රෝගීන්ට හරිහැටි සැලකිල්ලක් නොදක්වන වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් සිටිනවාය. මේ ඊයේ පෙරේදා රෝහලකට රැගෙන ගිය දරුවකුගේ අතේ තුවාල ඇඟිල්ල වෙනුවට වෙනත් ඇඟිල්ලක බෙහෙත් දැම්මේ නොසැලකිල්ල නිසාය. සමහර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා රෝගීන් මිය පරලොව ගිය අවස්ථාද තිබෙනවාය. තමන්ගේ පඩිනඩි සහ දීමනා ගැන ඉහළ සැලකිල්ලක් දක්වන බොහෝ සේවකයන් තමන්ගේ රාජකාරිය දක්වන සැලකිල්ල අවමය. මෙම නොසැලකිල්ල නිසාම අද රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙලා යැයි කියනවාය.
සෑම වැඩක්ම සැලකිල්ලෙන් හා වගකීමෙන් යුතුව ඉටු කළ යුතු අතර නොසැලකිල්ල නිසා අඩුපාඩු සිදුවන්නේද තමන්ටමය. සුළු නොසැලකිල්ල නිසා සිදුවන පාඩුව විශාලය. අද අපේ රටද මෙලෙස පරිහානියට පත්ව ඇත්තේ තම තමන් ගැන මිස රට ගැන දක්වන සැලකිල්ල අඩුවීම නිසාය. බොහෝදෙනා පුද්ගලික දේවලට සැලකිල්ලක් දක්වන අතර පොදු දේවලට දක්වන සැලකිල්ල අඩුවෙලාය. පොදු දේ ගැන තමන්ගේ දේවලට වඩා සැලකිල්ලක් දැක්විය යුතු වග ඔවුන්ට මතක් කර දිය යුතුය.
ලෝකයේ මිනිසුන් අපේ රට ගැන දක්වන සැලකිල්ලෙන් දෙකෙන් පංගුවක් අපේ මිනිසුන් රට ගැන දක්වන්නේ නැත්තේය. දේශපාලුවන් පවා රට ගැන සලකන්නේ නැතුව වංචා දූෂණවලින් සල්ලි හොයන්නට යාම නිසා අද අපේ රට පරිහානියට පත්වෙලා තියෙනවාය. ඒත් සියල්ලටම පෙර රටක් අවශ්‍ය නිසා රට ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. සිංහලයා ජාතිය ගැන දක්වන සැලකිල්ල ද පහළටම වැටිලාය.
අද තරුණයන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ තරුණියන් කෙරෙහිය. මුහුණු පොතෙන් ඇසුරට ලැබෙන තරුණියනට සලකන්න ගොස් අමාරුවේ වැටුණු තරුණයන්ද සිටිනවාය. තරුණියන්ද තරුණයන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව පෙන්වා තම අවශ්‍යතා ඉටුකර ගන්නවාය. බස් රියේ, දුම්රියේ සිටගෙන යන විට තමන් අසල අමාරුවෙන් සිටගෙන යන මහලු අම්මාට සැලකිල්ලක් නොදක්වන තරුණයන් රූමත් තරුණියකට සැලකිල්ලක් දක්වා ඇය තම සීට් කොනේ වාඩිකර ගන්නවාය. ඒත් තමන් සැලකිලි දක්වලා තිබෙන්නේ වැරදි කෙනෙකුට බව ඔහුට තේරෙන්නේ තම පොකැට්ටුවද පන්නා ගෙන ඇය බැස ගියාට පසුවය. ඒ නිසා හදිසියේ හමුවෙන අයට වැඩි සැලකිල්ලක් දක්වන්නට යාම නරකට හිටින බව දැන ගත යුතුය.
අපට කවුරුත් සලකන්නේ නැති වන විට සැලකිලි ලබන්නට නොකරන දේවල් කරන්නේය. තමන් ලොකු වැඩකාරයෙක් බව පෙන්වලා අන් අයගෙන් නැති සැලකිලි ලබාගන්නට සූදානම් වෙනවාය. පෙම්වතා හා පෙම්වතිය එකිනෙකාට දක්වන සැලකිල්ල තවත් අඩු වන්නේ දරු සම්පතක් ලැබුණු විටය. එහෙම වුණාට පස්සේ ඇය වැඩිපුර සලකන්න පටන් ගන්නේ දරුවාටය.
අපේ සමහරු නම් ඇතැම් වෙලාවට හොඳින් බැරිනම් නරකින් හරි සැලකිල්ල දක්වන්නට සූදානම්ය. මම එයාට හොඳට සලකලා ඇරියා යැයි උපහාසයෙන් කියන්නේ ඇතැම් වෙලාවට බැණලා එළවාගෙන විය හැකිය. නැතිනම් අතින් පයින් පොලු මුගුරු වලින්ද සලකන්නට බැරි කමක්ද නැත්තේය.
සෑම දෙනාම වැඩිපුර සලකන්නේ කාටද කියා අසූ විට ලැබෙන නිවැරදි පිළිතුර විය යුත්තේ තමන්ටමය යන්නය. එහෙත් බොහෝ දෙනා තමා තමාටම වැඩි සැලකිල්ලක් දක්වන බව කියන්නේ නැතිය. සෑම දෙනාම තම තමන්ට දක්වන සැලකිල්ලෙන් අල්පමාත්‍රයක්වත් අනුන් කෙරෙහි දක්වන්නේ නැත්තේය.
අපේ දේශපාලුවන් ඡන්දදාසලාට සලකන්නේ ඡන්දයක් ළං වූ විටය. ඡන්දයෙන් දිනුවාට පසු ඡන්දය දෙන අයට දක්වන සැලකිල්ල ක්‍රමයෙන් අඩුවෙලා යනවාය. තමන් අමතක කළ දේශපාලුවන්ට හොඳට සලකන්නට ඊළඟ ඡන්දය එනතුරු ඡන්දදාසලා මග බලා ඉන්නවාය.