(UPDATE) MH128 මැලේසියානු යානයේදී බෝම්බයක් පුපුරුවා ගන්නා බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකේය තරුණයා මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා පැමිණි අයෙකු බව හඳුනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ 25 හැවිරිදි මනෝද් මොනරාගල මාක්ස් නමැති තරුණයා බොහෝ කාලයක සිට මානසික ආතතියකින් පෙළ ඇති බවටද තොරතරු අනාවරණය වෙමින් පවතී.
කෙසේ වෙතත්, අද (01දා) ඔස්ට්‍රේලියානු අධිකරණයක් වෙත මොහු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.
එහිදී, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එලැඹෙන අගෝස්තු 24 වැනිදා දක්වා මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. එහිදී, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයන් ඇප අයදුම් කර නැති අතර, ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තා පමණක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම, ඔහු මානසික ප්‍රතිකාර ලබාගැනීමටද ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, මැලේසියානු ගුවන් යානය තුළදී මොහු මෙල්ල කරගැනීමට කටයුතු කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ සහයෝගයද විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්ව තිබුණි.
ශ්‍රී ලාංකිකයා මැලේසියානු යානයක් පැහැරගන්න හදලා?
ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කර, එම යානය ආපසු හරවා එහි ගමන අඩාල කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකේය මගියෙකු බව අනාවරණය වී තිබේ.
මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය ක්වාලලම්පූර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණි බව මැලේසියානු බලධාරීහු පවසති.
තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකේය මගියා බලහත්කාරයෙන් නියමු කුටියට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවත්, "I've got a bomb and I'm going to f---ing blow the plane up." යනුවෙන් ඔහු කෑමොර දී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
කෙසේ වෙතත්, යානය තුළ උන්මත්තකයෙකු ලෙස හැසිරුණු තරුණයා යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය විසින් මෙල්ල කර ගැනීමට සමත්ව තිබූ අතර, ඔහු බිම දමා අල්ලා ගෙන සිටින දසුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.
මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී මුලින් කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් යානය ආරක්ෂිතව යළි මෙල්බර්න් ගුවන් තොටුපොළට ගොබැස්වීමෙන් අනතුරුව ඊට ඇතුළු වූ ඔස්ට්‍රේලියානු විශේෂ බලකා නිලධාරීන් වහාම ගුවන් යානය වෙත ඇතුළුව මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. එමෙන්ම පොලීසියට අනුව මොහු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු ලෙසද හඳුන්වා තිබුණු අතර, අත්අඩංගුවට පත් තරුණයා මනේාචිකිත්සකයෙකු වෙතද යොමුකර තිබුණි.
කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය 'පවර් බෑන්ක්' එකක් (බැටරි ආරෝපකයක්) බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය. මේ අතර, පොලීසිය පවසන්නේ එය ස්මාට් උපකරණයකට සම්බන්ධ කළ හැකි උපකරණයක් බවයි.
MH128 ගුවන් යානය ආරක්ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගමද පසුව තහවුරු කර තිබුණි
25 හැවිරිදි මෙම ශ්‍රී ලාංකිකයා ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වන්නෙකු බව ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා පොලීසියේ ප්‍රධානී ග්රැහැම් ඇෂ්ටොන් පවසයි. මුලින් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කළත්, පසුව ත්‍රස්ත අවදානම පහව ගිය බවත් පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, පැය අටකට වැඩි ගුවන් කාලයක් පැවති යානය විනාඩි 30ක වැනි කාලයකින් යළි ගොඩබස්වා ඇති බවත්, මෙම අවස්ථාවේදී යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ 337 දෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මොහුගේ මෙම හැසිරීම හේතුවෙන් මෙල්බර්න් ගුවන් තොටුපොළේ ගුවන් යානා කිහිපයක්ම හරවා යවා ඇති බවත්. මේ වනවිට ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.
මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ බව වාර්තා වූයේ 1982 දීය. ඒ අලිතාලියා ගුවන් සමාගමට අයත් යානයකි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සේපාල ඒකනායකය.