ශ්‍රී ලංකාවේ වැඩිම මිලකට අලෙවි වූ පාවහන් යුගල


මෙරට නිපදවූ පාවහන් යුගලක් වෙනුවෙන් වූ වැඩිම මිල ලෙස තුන්ලක්ෂ තිස් එක් දහසක වටිනාකමක් සටහන්වූ පුවතක් පසුගියදා වාර්තා විය. මෙවන් මිලක් සටහන් වන විට එය රත්රන් හා වටිනා ගල් වර්ගවලින් නිමවා ඇතැයි එක්වරම ඔබට සිතුනත් මෙය එලෙස නිපදවූවක් නම් නොවේ.

මෙම පාවහන් ජෝඩුව නිර්මාණය කර තිබුනේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 17ක සිසුවකු වන අශේන් උදයංග වන්නිආරච්චි විසිනි. සාමාන්‍ය පුද්ගලයෙකු පාවහන් නිර්මාණකරණය පිළිබඳ මාස හයක පුහුණුවකින් පසු නිර්මාණය කරන මට්ටමේ ගුණාත්මක භාවයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම පාවහන් යුගල විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු වන අශේන් නිර්මාණය කර තිබුණේ මාස තුනක් වැනි කාලයකදී ලද පුහුණුවකිණි.

සෙනෙහස ආයතනයේ වෘත්තීය පුහුණු ඒකකය වෙත ඩෙනී පාවහන් ආයතනයේ හිමිකරුවන් විසින් ලබා දී තිබුණු සම්පත් ලබාදීම් හා පුහුණු වැඩසටහන් වලින් අනතුරුව අශේන් විසින් මෙම නිර්මාණ කටයුතු සිදුකර ඇත්තේ ඔහු සමග පුහුණුව ලබන තවත් දරුවන් කිහිපදෙනෙකු සමගිනි. ඔහු විසින් නිර්මාණය කරන ලද මෙම පාවහන් යුගල වෙන්දේසියකදී තුන්ලක්ෂ තිස්එක් දහසකට වෙන්දේසි වී තිබේ.

එම ආදායමෙන් 10% ක මුදලක් අශේන් හටත් ඉතිරි මුදල් 10% බැගින් ඔහු සමග මෙම ආයතනයේ පාවහන් නිර්මාණ කරනයේ යෙදෙන තවත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 10 දෙනෙකු අතරත් බෙදා දී ඇත. මෙම  විශේෂ තරුණයා ඉදිරියේදීත් පාවහන් නිර්මාණකරණයේ යෙදීමට ආශාවෙන් පසුවන බව මෙහිදී අප හා පවසා සිටියේය.

මේ පිළිබඳව අප හා අදහස් දැක්වූ ආයතන ප්‍රධානී ලුතිනන් කර්නල් ප්‍රසන්න  හෙට්ටිආරච්චි මහතා "අශේන් සිසුවා විසින් නිර්මාණය කරන ලද පාවහන් යුගල අපි වෙන්දේසියට තැබුවා. එය සෙනෙහස ආයතනයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් විසින් එක්ව සහභාගිත්වය දක්වමින් පවත්වනු ලැබුවා. එහිදී පළමු ලංසුව ලෙස රුපියල් 25000ක මුදලක් ඉදිරිපත් වුණා. ඉ

න්පසු පියවරින් පියවර වැඩිවෙමින් රුපියල් 331000ක මුදලක් දක්වා ඉහළ ලංසුවක් දක්වා පැමිණියා.  අවසානයේ අපි ඒ වටිනාකමින් ලංසුතැබීම නවතන්නට තීරණය ගනු ලැබුවේ කාලය අවහිර වීම නිසයි. මේ පාවහන් දෙක අලෙවි වී වහාම ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් ආරම්භකර අපි ඉන් 10%ක් අශේන්ගේ නමින් තැන්පත් කරන්නට කටයුතු කළා. අපේ ආයතනයේ සපත්තු නිර්මාණ කරන අංශයේ පුහුණුව ලබන අනෙක් සිසුන්ටත් අපි ඉතිරිය සමව බෙදා දෙනු ලැබුවා.

අශේන් ඇතුළු අනෙක් සිසුන් එදා තමන් ලද ආදායම තැන්පත් කළ බැංකු ගිණුමේ පාස් පොත අතැතිව කඳුළු පුරවාගෙන සිටි ආකාරය නිසාම මේ අවස්ථාව ඉතාම සංවේදී අවස්ථාවක් බවට එදා පත්වුණා.  ඇත්තටම එදා විශේෂ අවශ්‍යතා ඇතිව මෙලොවට ඉපදුනු අයටත් හැඟීම් දැනීම් මෙන්ම සංවේදනා දැනෙන බව සමාජයට ඒත්තු ගියා කිව්වොත් නිවැරදියි.

ඔවුන් එදා සල්ලි පමණක් නොවේ ඔවුන්ගේ ජීවිතෙත් අරගෙනයි මෙතනින් නික්මුනේ. අපේ මූලික ඉලක්කය වී තිබෙන්නේ අපිට ලැබෙන උපකාර මත පාවහන් සකස් කරන කම්හලක් ඇති කර මේ දරුවන් රටට බරක් නොවී උපයන්නන් බවට පත්කරගැනීමයි. අපිට මූලික උපකරණ ටික ලැබුණු ගමන් එය ආරම්භ කරන්නයි අදහස් කරන් ඉන්නේ. දැනට ඩෙනී පාවහන් ආයතනය අපගේ සිසුන්ට අවශ්‍ය පුහුණුව හා උපකරණ නොමිලයේ සපයාදී තිබෙනවා."

ඡායාරූප - සරසි නෙත්මිණි



Recommended Articles