විල්පත්තුව මායිමේ තවත් වන විනාශයක්


විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි  වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ආසන්නයේ පිහිටි අයිලිය රජයේ රක්ෂිතය යාබද රජය සතු කැලෑව  ජාවාරම්කරුවන් පිරිසක් විසින් රහසිගතව එළිපෙහෙළි කර ගිනි තබා ඉඩම් අත්පත් කරගැනිමේ කූට ජාවාරමක නිරත වෙමින් තිබෙන බවටජනතාව චෝදනා කරයි.

අයිලිය රක්ෂිතය හා රජයේ ඉඩම් අක්කර 2500කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර, ඇතැම් ඉඩම් ජාවාරම්කරුවන් මෙම වනය වැනසීමට අවස්ථා ගනණාවකදී කටයුතු කළ නමුත් එය වැළකී ගියේ එකලද මාධ්‍ය මගින් දිගින් දිගටම සිදුවෙමින් තිබූ හානිය හෙළි කිරීමත් සමගය .

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සැතපුම් කිපයක් දුරකින් පිහිටි අයිලිය රක්ෂිතය සුවිශේෂී පරිසර පද්ධතියකින් සමන්විත වන උයනක් වන අතර,එහි වන සතුන් රැඳී සිටින බවද පරිසරවේදීන් හා වනජීවී නිලධාරීහු පවසති.

නමුත් නැවතත් අයිලිය හා ආසන්නයේ පිහිටි රජයේ වනය දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ උදව් ඇතිව රහසිගතව එළිපෙහෙළි කර ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාදාමයක් සිදුවන බව ජනතාව කියති.

2016 වසරේද මෙම රක්ෂිතයට සිදුවන්නට ගිය  දැවැන්ත හානිය වළකා දැමීමට මාධ්‍ය දැවැන්ත උත්සහයක නිරත විය. නමුත් මේ වනවිට ජාවාරම්කරුවන් වනය තුළ ඇති පළු,වීර, කොහොඹ සහ අනිකුත් දැවැන්ත සහ කුඩා ගස් රැසක් වනය තුළම කපා, ඉරා දැව තොග රැගෙන ගොස් ඉන්පසුව වනය එළිපෙහෙළි කර ගිනි තබා වනසා තිබෙන ආකාරය එහි සංචාරයක නිරත වූ අපට දැකගත හැකි විය.

මෙම දැවැන්ත පරිසර හානියට රහසිගතව රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආධාර උපකාර ලැබෙන බවටද ජනතාව චෝදනා කරති.

1 (1)~1 1 (2)~1 1 (4)~1 1 (5)~1 1 (6)~1 1 (7)~1 1 (8)~1 1 (9)~1 1 (10)~1

 

 



Recommended Articles