දක්‍ෂතම මෝටර් රථ රියදුරා ලෙස පසිඳු පීරිස්ද, දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ලෙස කලකට පසු ගයාන් සඳරුවන්ද සම්මාන දිනාගනිමින් 'වලව සුපර්ක්‍රොස් - 2016' මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය පසුගියදා (11දා) උඩවලව, සෙවණගල යුද හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බළකා ධාවන පථයේදී නිමාවට පත්විය.
මෝටර් රථ අංශයේ දක්‍ෂතම රියදුරා වූ පසිඳු පීරිස්, තරගාවලියේ එස්.එල්.ජී.ටී. (සි.ධා. 3500ට වැඩි/සුපර් කාර්) ඉසව් ද්විත්වයේම ශූරතාව දිනාගැනීමට සමත් වූ අතර, එය ඔහු වලව සුපර්ක්‍රොස් තරගාවලියේ ශූරතාවක් හිමිකර ගත් තෙවැනි අවස්ථාව විය. මීට පෙර 2011 හා 2012 වර්ෂවලදීද ගයාන් මෙහි ශූරතාව හිමිකර ගෙන තිබේ.
තරගාවලියේ පෙරළිකාර චරිතයක් බවට පත්වූ ගයාන් සඳරුවන්, මෙවර තරගාවලියේදී ආධිපත්‍යය නැවතත් පැතිරවීමට සමත්විය. හෙතෙම තරගාවලියේ ප්‍රධාන යතුරුපැදි ඉසව්ව වූ 'එම් එක්ස්' කාණ්ඩයේ (සි.ධා 175 සිට 250 දක්වා ) පළමු තරගයේ දෙවැනි ස්ථානයත්, දෙවැනි තරගයේ පළමු ස්ථානයත් හිමිකර ගනිමින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවේ හිමිකරුවා බවට පත්විය.
ගයාන්, 'සුපර්ක්‍රොස්' තරගාවලියක දක්‍ෂතම ධාවකයා සම්මානය හිමිකර ගත්තේ 2013 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයකි. කෙසේවෙතත් මෙවර තරගවාරයේ නොකඩවා තරගාවලි 06ක දක්‍ෂතම ධාවකයා ලෙසින් අපරාජිතව සිටි ඉෂාන් දසනායක, මෙම තරගයේදී අසාර්ථක වීම කැපී පෙනිණි. ඔහුට මෙහි පළමු තරගයේදී පස්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූ අතර, දෙවැනි තරගයේදී ඇදවැටීම නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමගින් එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය.
2011 වර්ෂයේදී ආරම්භ වූ වලව සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර 04 වැනි වරට සංවිධානය වූ අතර, කෝස්වේ පේන්ට්ස් ආයතනය මෙවර තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.