ලෝකයේ දූෂිතම රටවල් අතර හතරවැනි තැන ලංකාවට - සමන්ත


හිටපු පාලකයන් විසින් රටේ සියලු ක්ෂේත්‍ර‍යන් විනාශ කරමින් ලෝකයේ දූෂිතම රටවල් අතර සිවුවැනි තැනට රට පත්කර ඇති බවත්, මේ දූෂිත පාලකයන් සයිබීරියාවට පැටවිය යුතු බවත් ජවිපෙ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙවර මැතිවරණයට අදාළව හාලිඇල පැවැති රැස්වීමකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

       “රට මේ තියෙන තත්වයට වගකිවයුතු, වසර හැත්තෑවක් මේ රට පාලනය කළ නායකයන් ආපහු මේ පුංචි ඡන්දයේදිත් බලය ඉල්ලනවා ගම හදන්න බලය දෙන්න කියලා.

පහුගිය කාලයේ දිගටම ගම හැදීමේ බලය තිබුණේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක අතේ. ඉතින් එහෙම නම් ඒ අය මෙතෙක් නොහැදූ ගම මේ ඡන්දෙන් පස්සෙ හදයිද? නෑ.

මෙතෙක් කල් බලය තිබුණු පාලකයන් හැදුවේ ගම-රට නොවේ. උන්ගේ ආර්ථිකය හැදුවා. උන්ගේ පවුල හැදුවා. උන්ගේ හවුල හැදුවා. කරනවා කියපු කිසි දෙයක් නොකළ මෛත්‍රීපාල සිරිසේනලා, රනිල් වික්‍ර‍මසිංහලා ආපහු රෙද්දක් ඇඳගෙන කොහොමද ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලන්නේ?

ඔය මහින්ද රාජපක්ෂ ආයෙ පාරම්බාන්නේ රටට කොරන්නද? නෑ. ගිලිහී ගිය බලය යළි ලබාගන්නයි. ඒ අය රට හදනවා නම්, ගම හදනවානම් කාලයක්ම ඒ අයට ඒකට අවස්ථාව දීල තිබුණා. ජනාධිපතිකම, අගමැතිකම, තුනෙන් දෙකක බලය තියෙන පාර්ලිමේන්තුව, පළාත් සභා නවයෙන් අටක්ම, පළාත් පාලන ආයතන සියයට අනූපහක්ම, මේ සියල්ල තිබිලත් කළේ නැතිනම් ආයෙත් කරයිද?

දැන් මොනවාද ලංකාවෙ එකට ඇවිත් තියෙන්නේ?.  කාලයක් අපි සියදිවි නසාගැනීම අතින් රන් පදක්කම ගත්තා. ලෝකයේ දූෂිතම රටවල් අතරේ අපි ලෝකඩ පදක්කමට ආසන්නව ඉන්නවා. අද ලෝකයේ දූෂිතම රටවල් අතරේ හතරවැනි ස්ථානය ලංකාව. මෙතෙක් හිටපු පාලකයෝ තවත් බලයේ තියාගත්තොත් ඒක පළමුවැනි ස්ථානය දක්වා ගෙන එන්න පුළුවන්. මේ තත්ත්වය තේරුම්ගෙන මේ අයට නිසි තැන ලබාදෙන්න කියා අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සමන්ත විද්_යාරත්න

හාලිඇල- විජේරත්න රත්නායක

 



Recommended Articles