වනාන්තර, ජලාශ, ගංගා සහ දියඇලි යන මහා සම්පත්වලින් මේ සුන්දර දිවයින නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව තුළ මිනිස් වාසය ආරම්භ වීමත් සමග මිනිසා සහ පරිසරය අතර බැඳීම අයහපත් වීම හේතුවෙන් පරිසරයේ ස්වාභාවික සමතුලිතතාව ක්‍රමයෙන් බිඳ වැටීම ආරම්භ විය. අද වනවිට මේ පුංචි දිවයින තුළ හරිත වර්ණයෙන් බැබළෙන මනරම් කඳු පන්ති මෙන්ම කසළ කඳු බිහි වීමට තරම් මිනිසාගේ සහ පරිසරයේ බැඳීම අයහපත් වී ඇත.
ඉතාමත් සුළු ලාභයක් වෙනුවෙන් කෙටිකාලීන විසඳුමක් සඳහා මිනිසා විසින් ඉතා ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසරය සමග ගැටෙන්නේ ඉතා කුරිරු අයුරිනි. තවත් එවැනි අවදානම් තත්ත්වයක් අතිශය සංවේදී රක්‍ෂිත කලාපයකට මේ වනවිට එල්ල වෙමින් පවතී. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාර රක්‍ෂිතයට මායිම්ව කැලණි ගඟෙහි ප්‍රේරක කලාපය තුළ පිහිටි සුවිශේෂී ජෛව පද්ධතියට උරුමකම් කියන්නා වූ කිතුල්ගල රක්‍ෂිත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජලවිදුලි බලාගාරය එම පරිසර පද්ධතියේ මාරයා බවට පත්ව තිබේ.
බණ්ඩාර රක්‍ෂිතයේ දක්නට ලැබෙන 'හොර' කුලයට අයත් 'Balnocapus kitulgallensis' ශාකය මුළු ලෝකයෙන්ම මෙම පරිසර පද්ධතිය තුළ පමණක් වාර්තා වේ. දුර්ලභ හා වටිනා ශාකයක් වන මෙම ශාකය ව්‍යාප්තව ඇති රක්‍ෂිතයට මායිම්ව පිහිටි ගංගා ප්‍රේරක කලාපය තුළ ගල්බෝර දැමීම, බැකෝ යන්ත්‍ර යොදා ඉදිකිරීම් සිදුකිරීම සහ විදුලි බලාගාරය සඳහා ජලය කොන්ක්‍රීට් කානු ඔස්සේ ගෙනයෑම නිසා ගංගාවේ ජල මට්ටම පහත බැසීමට ලක්විය හැකිය. මේ හේතූන් නිසා මෙම වැසි වනාන්තර ශාකවල පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආර්ද්‍රතාව අඩුවීම නිසා මෙම පරිසර පද්ධතියට පමණක් ආවේණික ශාක සදහටම ලෝකයෙන් තුරන් විය හැකිය. මෙවැනි ගැටලු හේතු කාරණා සැලකිල්ලට ගනිමින් ඉකුත් අප්‍රේල් මස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් කුඩා ජලවිදුලි බලාගාර නිසා සිදුව ඇති දැවැන්ත පාරිසරික ගැටලු සලකා බලා, සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තර මායිමේ සිට කිලෝමීටර 10ක් තුළ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම තහනම් කිරීමට සම්මත කර ගෙන ඇත. සිංහරාජයට නොදෙවැනි ජෛව විවිධත්වයක් ඇති කිතුල්ගල ප්‍රදේශයේ මෙවැනි ඉදිකිරීම් කිරීම එහි ජෛව විවිධත්වයට සහ මෙම පරිසර පද්ධතියට පමණක් නොව ආවේණික මත්ස්‍ය සම්පතටද කෙරෙන්නා වූ බලවත් තර්ජනයකි.
'Devario micronema' හෙවත් 'කිතුල්ගල සාලයා' නමැති මත්ස්‍යා කැලණි ගංගා ද්‍රෝණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව, සෙමින් ගලායන සෙවණ සහිත දියපහරවල පමණක් ඉතා සීමිත ව්‍යාප්තියක් පෙන්වන මත්ස්‍ය විශේෂයකි. මෙම විශේෂය 1863 දී 'පීටර් බ්ලීකර්' නම් විද්‍යාඥයෙකු විසින් මුලින් හඳුන්වාදී ඇති නමුත් මොවුන් ලෝකයෙන් වඳවී ගොස් ඇතැයි මතයක් පවතින වකවානුවකදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය විසින් සිදුකරන ලද මිරිදිය සාලයන් පිළිබඳ අධ්‍යයනයේදී නැවත මෙම මත්ස්‍ය විශේෂය කැලණි ගංගා ද්‍රෝණියේ කිතුල්ගල ප්‍රදේශය ආශ්‍රිතව නැවත සොයා ගැනීමට හැකි විය.
යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරය මෙම මත්ස්‍ය විශේෂය සීමාවී පවතින ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත අතර, දැනටත් ප්‍රාදේශීය බලධාරීන් අවසර ලබාදී ඇති මෙම ඉදිකිරීම සිදුවුවහොත් %කිතුල්ගල සාලයා^ නමැති මත්ස්‍ය විශේෂය වාසය කරන ජල මූලාශ්‍ර විනාශ වී මුළු ලොවින් සදහටම වඳවී යෑමේ තර්ජනයක් පවතී. ස්ථානීය ආවේණික (point endemic) 'කිතුල්ගල සාලයා' සම්බන්ධ කරුණු පාරිසරික ඇගයීම් වාර්තාවල සඳහන් නොවී තිබීම නිසා අදාළ ප්‍රාදේශීය බලධාරීන් මෙම ව්‍යාපෘතියට අනුමැතිය දී ඇත්තේ එකී වැදගත් කරුණු සම්බන්ධව සැලකිල්ලට නොගෙන බව පැහැදිලිය. ව්‍යාපෘතියට හසුවන ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය විශේෂ 39ක් දැකිය හැකි අතර, මින් 21ක් ලංකාවට ආවේණික මත්ස්‍යයන් වේ. ඉන් 17ක් වඳවී යෑමේ තර්ජනයට මුහුණ පෑම නිසා 'IUCN' රතු දත්ත පොතට ඇතුළත් වී ඇති අතර, ඉන් 12ක්ම මෙම පරිසරයේ ජීවත් වේ.
බොහෝ ප්‍රදේශ තුළ දැනට ඉදිකර ඇති කුඩා ජලවිදුලි බලාගාර මගින් පරිසරයට නිර්දේශ කළ ජල ප්‍රමාණයවත් බලාගාර හිමියන් විසින් නිදහස් නොකිරීම හේතුවෙන් ගැටලුකාර තත්ත්වයක් ඇතිවී තිබේ. මෑතකදී කුඩා ජලවිදුලි බලාගාර ඉදිකළ බොහෝ දිස්ත්‍රික්ක තුළ ජල චක්‍රය විකෘති වීම නිසා තද නියං තත්ත්වයත්, ඉන් පසුව මෝසම් වැසි සමග ගංවතුර හා නාය යෑම් විශාල වශයෙන් ඇති වීමත් නිසා මිනිස් ජීවිත විශාල ගණනක් අහිමි විය, පවුල් ලක්ෂ ගණනක් දැඩි පීඩාවට පත් විය. මීට ප්‍රධාන හේතුව වූයේ, ස්වාභාවික වනාන්තර හා ජල මූලාශ්‍ර විනාශ කිරීමත්, එම ප්‍රේරක කලාප හා ජල මූලාශ්‍ර අවහිර කර කුඩා ජලවිදුලි බලාගාර ඇතුළු නොයෙකුත් ඉදිකිරීම් කිරීමත්, ජලය ස්වාභාවික දොළ හා ගංගාවලින් තොරව කොන්ක්‍රීට් කානු පද්ධති හරහා යැවීම නිසා ජල උල්පත් විනාශ වීමත්, කඳු හා බෑවුම් ප්‍රදේශ තුළ කැණීම් කටයුතු නිසා පසෙහි ස්ථාවරත්වය බිඳ වැටීමත්ය.
මෑත කාලීනව ඇති වූ වියළි කාලගුණික තත්ත්වයන් යටතේ හා ඉදිරියට අපේක්‍ෂිත දැඩි නියං හා 'එල් නීනෝ' කාලගුණික තත්ත්වයන් යටතේ කුඩා ජලවිදුලි බලාගාර මගින් තවදුරටත් ජාතික විදුලි අවශ්‍යතාවට සැලකිය යුතු සහායක් නොලැබෙන බව ඔප්පු වී ඇත. එය පසුගිය සමයේ විදුලිබල ජනන දත්ත සැසඳීමේදී පෙනී යයි. කුඩා ජලවිදුලි බලාගාර 180කට ආසන්න ප්‍රමාණයක විදුලි උත්පාදන එකතුව ජාතික අවශ්‍යතාවෙන් 02%ක්වත් නොවීමත්, බලාගාර කාර්යක්‍ෂමතාව 20%ක් ආසන්නයේ පැවැතීම මගිනුත් ඉහත කාරණය තවදුරටත් සනාථ වේ.
වත්මන් පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කිහිප වරක් සඳහන් කර ඇති පරිදි දිනෙන් දින උග්‍ර වන නියං තත්ත්වය 'එල් නීනෝ' තත්ත්වවල සහ දේශගුණික විපර්යාස හමුවේ මෙරට ඉතිරි වී ඇති ජල මූලාශ්‍ර රැකගත යුතු අතර, එම වටිනා ජල සම්පත හා වැසි වනාන්තර වනසමින් රටේ විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුය. වනාන්තර විනාශය හා ගෝලීය උෂ්ණත්වය නැගීම නිසා ඉදිරියේදී පැමිණීමට නියමිත දරුණු නියං තත්ත්වයත් සමග අපට කෘෂිකර්මාන්ත කටයුතු නොව පානය කිරීමටවත් ජලය ඉතිරි නොවනු ඇත.
ඉහත වැදගත් කාරණා සැලකිල්ලට ගෙන ලෝක ප්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය හා සංචාරක කලාපය විනාශ වීමට තුඩුදෙන මෙම කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියට අනුමැතිය නොදෙන ලෙසත්, සිංහරාජයට නොදෙවැනි ජෛව විවිධත්වයක් ඇති මෙම සුවිශේෂ වැසි වනාන්තර පද්ධතිය රැක ගැනීමට අවශ්‍ය නීති සැකසීමට විධිමත් ක්‍රියාවලියක් දියත් කරන ලෙසත් වගකිවයුතු බලධාරීන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.
පේශල පසන් කරුණාරත්න
මාධ්‍ය සම්බන්ධීකාරක
වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය