තැපැල් සේවාව තුළ පවතින ගැටලු හා තැපැල් සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙසට රජයට ලබා දීඇති දින 14 ක කාලය අදින් (06දා) අවසන් වන බව තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.
පසුගිය 21 වැනිදා දින දෙකක වැඩ වර්ජනයකින් පසු මෙම ගැටලු දින 14 ක් තුළ විසඳන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් බාරදුන් බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අනුව තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වීම සඳහා වෘත්තීය සමිතිවලට අවස්ථාව හිමිවූ බවත්,එහෙත් එම සාකච්ඡවේදී නිසි විසඳුම් නොලැබුණු බවත් චින්තක බණ්ඩාර මහතා කියා සිටියේය.
අදාළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් දින 14කට පසු අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශය බාරදෙන අවස්ථාවේදී අදාළ නිලධාරීන් දැනුවත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා අද (06දා) දිනය තුළ නිසි විසඳුමක් නොලැබුණහොත් මේ සතිය තුළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන දින වකවානු ප්‍රකාශයට පත්කරන බවත් කැඳවුම්කරු පවසා සිටියේය.
බඳවාගැනීමේ පටිපාටියේ පවතින ගැටලු, උසස්වීම් ගැටලු, වැටුප් විෂමතා ගැටලු ආදිය නිසා සේවකයන් අපහසුතාවට පත්ව තිබෙන බවත්, මීට අමතරව ව්‍යාපාරික අවස්ථා ඉහළ නොදැමීම හා බොහෝ ආයතන පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම නිසාද ආයතනය දියුණු කිරීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.