නව පරපුරේ ආකර්ෂණය දිනාගත් ගායන ශිල්පියෙකු වන යශාන්ගේ නවතම ගීතය වන කවුළුවෙන් එහා පසුගියදා එළිදැක්විණි. ඔහුගේ නවතම ගීතය හා බැඳුණු නවක තොරතුරු පිළිබඳ කතාබහ කරන්නට අපි ඔහු සමග සංවාදයේ යෙදුෙණමු.
Q අලුත් ගීතයත් එක්කම කතාබහ ඇරඹුවොත් ?
ගීතයේ නම කවුළුවෙන් එහා. ආදර ගීතයක්. වෙනස් ආකාරයේ ගීතයක්. මම නිර්මාණය කළ ගීතත් එක්ක වෙනස් ආකාරයේ ගීතයක් නිර්මාණය කරන්න අදහස් කළා. මීට පෙර අවසානයට කළේ සංසාර ගානේ ගීතය. එය ශනුද්‍රියි, මායි තමයි ගායනා කළේ. එය යුග ගීයක්. ඉන් අනතුරුව මගේ අදහස වුණේ නටන්න පුළුවන් සිත්තමක් වගේ ගීතය වගේ ගීතයක් නිර්මාණය කරන්න. නමුත් රසිකයන් ඉල්ලා සිටියේ එවැනි ගීතයක් නෙවෙයි.
මම මගේ සංගීත සංයෝජකයා වන ශෙනාල් මද්දුමගේ එක්ක කතාකරලා වෙනස් සංගීත සංයෝජනයක් එක්ක මගේ කටහඬ එළියට ගන්න පුළුවන් දැනෙන ගීතයක් කරමු කියල. එනිසා තමයි මේ ගීතය නිර්මාණය කළේ. පළමුවෙන්ම තනුව නිර්මාණය වුණා. ශෙනාල්ගේ තනුවට මම ආසා කළා. වෙනත් අය තමයි බොහෝ විට මට ගීත රචනා කළේ. නමුත් ඒ අතර සිත්තමක් වගේ ගීත මම රචනා කළා. මෙහි තනුව මට දැනුණු නිසා මම හිතුවා මමම ලියන්නම් කියලා. එහෙම තමයි කවුළුවෙන් එහා ඕඩියෝව නිර්මාණය වුණේ.
Q මේ සැරේ ශනුද්රිව හැලුවද?
ශනුද්‍රිත් එක්ක මල් සිහින හා සංසාර ගානේ යන ගීත දෙක නිර්මාණය කළා. එහි තුන්වැනි ගීතයක් නිර්මාණය කරන්නත් අදහසක් තියෙනවා. නමුත් දිගින් දිගටම එවැන්නක් කළොත් ඒකාකාරී බවක් දැනේවි. දිගටම යුග ගීතත් එන එක හොඳ නැති නිසා මගේම ගීතයක් නිර්මාණය කරන්න තීරණය කළා. මේ ගීතය සෝලෝ ගීතයක්. එනිසා මේ ගීතය ගායනා නොකර වීඩියෝවට විතරක් ශනුද්රිව ගන්න බෑ. එනිසා වීඩියෝවට අලුත් කෙනෙක් තෝරගත්තා. හර්ෂණී රූමන් තමයි ඇය.
Q වීඩියෝව නිර්මාණය වුණේ කොහොමද?
මෙය ආදරයේ සුබවාදී වෙනස් ගීතයක්. මම රැල්ලටම ගීත නිර්මාණය කරන්නෙ නෑ. නිර්මාණයට තැනක් දෙනවා. මෙයත් එවැනි ගීතයක්. එයට සරිලන වීඩියෝවක් සැකසිය යුතු නිසා රොමෑන්ටික් ආදරණීය වීඩියෝවක් නිර්මාණය කරන්න තීරණය කළා. එයට සරිලන වටපිටාව සකසාගන්න මට බොහෝ පිරිසක් උදවු කළා. විශේෂයෙන්ම මංගල අවස්ථා මුල් කරගත් රූප රචනාවක් ලෙසින් රූගත කරද්දි අපේ කණ්ඩායම සුවිශේෂ සහයෝගයක් ලබාදුන්නා. එහිදී නාමල් බාලචන්ද්‍රන් මහතා සහ ස්මාට් ෆ්ලෝරා සුවිශේෂ සහයෝගයක් ලබාදුන්නා. රූගත කිරීම් හයිබ්‍රිඩ් හෝම්ස්හි තමයි රූගත කළේ. එයත් අලුත් සංකල්පයක්. එමෙන්ම ගල්කිස්සේ බර්ජායි හෝටලයේ රූගත කිරීම් කිහිපයක් සිදුකළා.
Q ඉදිරි වැඩකටයුතු මොනවාද?
සචිත්ර සේනානායකට ගීතයක් නිර්මාණය කළා. එහි වීඩියෝවත් නිර්මාණය කර අවසන්. ඔහු ලංකාවට ආ විගසම එය එළිදක්වන්න පුළුවන්. ටී.එම්. ඩිල්ෂාන්ට හා ඔහුගේ බිරිඳ මංජුලාට ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ නායක මාධව වර්ණපුරට ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය එළිදැක්වුවා. එම ගීතය තමයි මුතු පරදනා. එහි වීඩියෝව ජනවාරියේදී එළිදැක්වීමට නියමිතයි. ශනුද්‍රි ගැන බොහෝ විමසූ නිසා කිවයුතුයි ඇය එක්ක ආදර හෝඩිය නමින් ගීතයක් නිර්මාණය කළා.
එහි වීඩියෝවත් මේ මාසයේදී නිර්මාණය කිරීමට නියමිතයි. මේවාට අමතරව එළිඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩකයන් හය දෙනෙකු සහ කලාකරුවන් හය දෙනෙකු එක්ව දොළොස් දෙනෙකුගෙන් යුතු ගීතයක් නිර්මාණය කිරීමට නියමිතයි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් පිරිසක් ඒ සඳහා තෝරගෙන තිබෙනවා. එහි සාකච්ඡා 90%ක්ම සාර්ථකයි. එය මේ අවුරුද්දේ ලොකු වෙනසක් කරන ගීතයක් වේවි. මේ මියුසික් වීඩියෝව Digital Eyes ස්ටුඩියෝ නම් අලුත් කණ්ඩායමක් තමයි කළේ. ඔවුන් ලංකාවේ මංගල ඡායාරූපකරණ ක්ෂේත්රයේ ලොකු නමක් දිනාගෙන හිටියට මියුසික් වීඩියෝ කරලා තිබුණෙ නෑ. එහි කළමනාකාර අධ්යක්ෂ චාමර සිහිපත් කළ යුතුමයි.
ඔවුන් තමයි මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ. එහිදී මම, මෙහි රඟපෑ හර්ෂණී රූමන් සහ සංගීත අධ්‍යක්ෂණය කළ ශෙනාල් මද්දුමගේ එක්ව උපරිම සාධාරණයක් ඉෂ්ට කළා යැයි සිතෙනවා. ඒ සඳහා ඔබේ අදහස් අවශ්‍යයි. Instagram @Yashan_insta සහ http://www.yashanonline.com මගින් ඔබට එම ගීතය නැරඹිය හැකියි.