ඉවත ලන ත්‍රිරෝද රථ කොටස් සහ යතුරු පැදි කොටස් උපයෝගී කරගෙන විද්‍යුත් ත්‍රිරෝද රථයක් නිපදවීමට මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමත්ව තිබේ.
මෙම ත්‍රිරෝද රථය 'ඉලෙක්ට්රයි' ලෙස හඳුන්වනු ලබන අතර, වායු ප්‍රතිරෝධී බලය අවම වන පරිදි නවමු මුහුණුවරකින් මෙය නිපදවා තිබේ. සුළු පරිමාණ වෙළෙඳුන් සඳහා වඩාත් සුදුසු හැඩයකින් මෙම ත්‍රි‘රෝද රථය නිපදවූ බව එහි නිර්මාණකරුවෝ පවසති.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මෙකාට්‍රොනික්ස් අංශභාර ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, අවසන් වසරේ ඉගෙනුම ලැබූ හංසික බෝගහපිටිය, මුදිත සුපුන් සහ දුලාජ් ගුණවර්ධන යන සිසුහු මෙම ත්‍රිරෝද රථය නිපදවූහ.
මෝටර් රථවල භාවිත වන බැටරි දෙකක් ආධාරයෙන් මෙම ත්‍රිරෝද රථයේ විදුලි මෝටරය බලගැන්වෙන අතර, පැයට කිලෝ මීටර් 40ක වේගයෙන් ගමන් කළ හැකිය. උපරිම ධාරිතාවක් ඇති බැටරි දෙකකින් එක්වරක් ආරෝපණය කළ පසු කිලෝ මීටර් 14ක දුරක් ගමන් කළ හැකි අතර, කිලෝග්‍රෑම් 300ක බඩු බාහිරාදිය රැගෙන යාමේ හැකියාවද පවතී.
සාමාන්‍ය ත්‍රිරෝද රථයකට සාපේක්ෂව වායු ප්‍රතිරෝදය යටතේ හානි වන ශක්තිය 20%කින් පමණ අවම කරගැනීමට හැකිවන පරිදි මෙම ත්‍රිරෝද රථය නිර්මාණය කළ බව නිර්මාණකරුවෝ පැවසූහ.
කොරියාවේ බූසාන් නගරයේ පැවැති FISITA 2016 ලෝක මෝටර් රථ කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද සමුළුවකට ඉදිරිපත්වීම සඳහා මෙම රථයේ නිර්මාණ සැලසුම් පර්යේෂකයෝ ඔවුන් වෙත යොමුකළහ. එහිදී ලංකාවෙන් තෝරාගත් එකම නිර්මාණය ලෙස සුදුසුකම් ලැබීමට මොරටු සරසවියේ නිර්මාණකරුවන්ට හැකිවිය. එහෙත් අවාසනාවකට ඒ සඳහා සහභාගි වීමට මූල්‍ය ප්‍රතිපාදන ඔවුන්ට නොතිබිණි.
මෙය නිර්මාණය කිරීමේදී යාන්ත්‍රික ඉංජිනේරු පීඨ ශාලාවේ අමල් සහ ශාන්ත යන මහත්වරුන්ගේ සහයෝගය ලැබුණු බවත්, වසරකට වැඩි කාලයක් පුරාවට මෙය නිර්මාණය කිරීමේ කාර්යයේ නියළුණු බවත් නිර්මාණකරුවෝ පවසා සිටියහ.
මෙය සංවර්ධනය කිරීමට කැමැති ඕනෑම අයෙකුට මෙය නොමිලේ ලබාදීමට නිර්මාණකරුවන් තීරණය කර ඇති බවත්, මෙවැනි නිර්මාණයකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් ශිෂ්‍යයන් තවත් ධෛර්වන්ත වන බවත් ආචාර්ය රංජිත් අමරසිංහ මහතා පැවසීය.